මෙම රජය කිසිදු රාජ්‍ය සම්පතක් පෞද්ගලීකරණය කිරීමක් හෝ විකිණීමක් සිදු නොකරන බවත්, 2017 අයවැය මගින් ප්‍රතිපාදන සලස්වා ඇති පරිදි නිෂ්පාදන ආර්ථිකයක් කරා යොමුකිරීමේදී විදේශ ණය, ආයෝජන බවට පත්කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
වත්මන් ආණ්ඩුව විසින් රාජ්‍ය සම්පත් විකිණීමක් හෝ පෞද්ගලීකරණය කිරීමක් සිදුකරන බවට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වන රවි කරුණානායක මහතා,
"මේ රජය බලයට පත්වන විට වූ විශාලතම අභියෝගය වූයේ විශාල විදේශ ණය ප්‍රමාණයයි. එම ණය යොදාගෙන සංවර්ධනය කර තිබූ යටිතල පහසුකම් හරහා ආර්ථිකයට කිසිදු ප්‍රතිලාභයක් අත්නොවූ හෙයින් ජාතික ආදායම පහළ බැස දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 11% ක සාමාන්‍ය අගයක් දක්වා අඩු වුණා. රාජ්‍ය ආදායම් එකතු කරන ආයතන කාර්යක්ෂම කොට දූෂණය වැළක්වීම හරහා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 13.6% දක්වා වැඩිකිරීමට හැකි වූ අතර, ප්‍රථම වතාවට ආණ්ඩවේ ආදයමෙන් පුනරාවර්ථන වියදම් ආවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා.
විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී චීනයේ සිදුකළ සංචාරය අවස්ථාවේදී මේ ණය, ආයෝජන බවට පරිවර්තනය කර ගැනීම සඳහා චීන රජයේ එකඟතාව ලබාගෙන තිබුණා.
ඒ අනුව, වානිජ වරායක් ලෙස අසාර්ථක වූ හම්බන්තොට වරාය කාර්මික වරායක් ලෙසද සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට චීනය විසින් ඇ.ඩො.බිලියනයකට වැඩි මුදලක් ප්රාග්ධනය වශයෙන් යෙදවීමට නියමිතයි. මේ මගින් හම්බන්තොට වරාය සඳහා රජය ගෙවිය යුතු ණය මුදලින් ඩොලර් බිලියනයක පමණ මුදලක් නිදහස් කිරීමට රජයට හැකි වනු ඇති. මේ ආකාරයට මත්තල ගුවන් තොටුපල, ශ්‍රී ලංකන් ගුවන් සේවා ආයතනය හා හම්බන්තොට ආයෝජන කලාප ඇතුළු ව්‍යාපෘති ගණනාවක් රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර (PPP) ලෙස ආරම්භ කිරීමට නියමිත අතර, එමගින් රාජ්‍ය දේපළ කිසිවක් පෞද්ගලීකරණය කිරීමට හෝ විදේශයන්ට විකුණා දැමීමක් හෝ කිසිදිනක සිදුකරන්නේ නැහැ.
ගාලු මුවදොර හමුදා මූලස්ථානය පිහිටි ඉඩම් හා හම්බන්තොට හෝටල් සංකීර්ණ ඉදිකිරීම සඳහා විදේශ සමාගමකට රජයේ ඉඩම් පසුගිය රජය විසින් සින්නක්කරව ලබාදී තිබුණා. එකල රාජ්‍ය ඉඩම් විදේශ සමාගම් විසින් මිලදී ගන්නා අවස්ථාවේ 100% ක බදු මුදලක් පනවා තිබුණත් මේ අදාළ හෝටල් සංකීර්ණ දෙක සඳහා එම බදු අය කිරීමකින් තොරව ඉඩම් නොමිලේම ලබාදී තිබූ බවද පැවසිය යුතුයි.
මීට අමතරව කොළඹ වරාය නගරය ඉදිකිරීමේදීද එහි කොටසක් චීන රජයට පසුගිය රජය විසින් සින්නක්කරව ලබාදී තිබුණා පමණක් නොවෙයි, එම වරාය නගර සීමාව ශ්‍රී ලංකා අධිකරණ බල ප්‍රදේශයෙන්ද ඉවත්කර තිබුණා. එහෙත් මේ රජය බලයට පත්වූ වහාම මේ පිළිබඳව චීන රජය සමග සාකච්ඡා කොට පසුගිය රජය විසින් චීනයට සින්නක්කරව ලබාදී තිබූ මේ ඉඩම, ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිය හා භුක්තිය සඳහා පෙරලා ලබා ගැනීමට හැකියාව ලැබුණා" යැයි පවසයි.