‘A Gallery in the Bank’ වාර්තා චිත්‍රපටය මහජන බැංකුව එළි දක්වයි
මහජන බැංකුවේ පැරණි සහ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිලිවල ස්ථාපිත කර ඇති සිතුවම් ඇතුළු කලා කෘති පිළිබඳ තොරතුරු ඇතුළත් ‘A Gallery in the Bank’ - Priceless Treasures of People’s Bank වාර්තා චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් කොළඹ 02, ‘පීපල්ස් ටවර්හිදී පසුගියදා පැවැත්විණි.
මෙම වාර්තාමය චිත්‍රපටය මහජන බැංකුවේ කලා එකතුවේ ඇති අතිශය දුර්ලභ හා විශිෂ්ට කලා කෘති 12ක් පිළිබඳ ගවේෂණය කරමින්, එක් එක් කලා කෘතිය නිර්මාණය කිරිමේ පසුබිම් කතාව, එහි ඇති ඓතිහාසික වැදගත්කම, කලාත්මක වටිනාකම සහ සංස්කෘතික උරුමය විමසුමට ලක් කරයි. මේ තුළින් ශ්‍රී ලංකාවේ කලා උරුමයේ වටිනා පරිච්ඡේදයක් අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කිරීම අරමුණු වී තිබේ.
ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් හා විශිෂ්ටතම කලාකරුවන් වන ජෝර්ජ් කිට්, පුෂ්පානන්ද වීරසිංහ, සේනක සේනානායක, විමල් ද සිල්වා, ජයන්ත ප්‍රේමචන්ද්‍ර, නැඩින් ඩේවිඩ්, යසන්ත බෝඅංගේ, බී. විමලරත්න, රිචඩ් ගේබ්රිරියල්, උපසිරි සහ ඉස්මත් රහීම් විසින් මෙම කලා කෘති නිර්මාණය කර ඇත.
මෙම නිර්මාණ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ එක්තරා යුගයක නිහඬ සාක්ෂියක් ලෙස හැඳින්විය හැකි අතර, ජාතියේ කලා උරුමයේ අතිශය වැදගත් කොටසක් නියෝජනය කරයි. මහජන බැංකුව සතු මෙම සැඟවුණු උරුමය පුළුල් රසික ප්‍රජාවක් වෙත හඳුන්වා දීම මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් එම නිර්මාණ සුරක්ෂිත කිරීම මෙම වාර්තා චිත්‍රපටියේ අරමුණයි. රටේ කලා හා සංස්කෘතික උරුමය සුරක්ෂිත කිරිමට සහ ප්‍රවර්ධනය කිරීමට මහජන බැංකුව දක්වන කැපවීම මෙයින් මින් පිළිඹිබු වන අතරම, මෙම කලාකරුවන්ගේ දැක්ම සහ නිර්මාණශිලිත්වය ඇගයිමද මෙමඟින් සිදුවේ.
මෙම වාර්තා චිත්‍රපටය සඳහා වන පර්යේෂණ කටයුතු ඇන්ජලීන් ඔන්ඩච්චි විසින් සිදුකරන ලද අතර, සුලෝචනා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලදී. මෙම උත්සවයේදී, මීට දායක වූ කලාකරුවන්ගෙන් දැනට ජිවතුන් අතර සිටින ඉස්මත් රහීම්, නැඩින් ඩේවිඩ්, සේනක සේනානායක සහ බී. විමලරත්න යන නිර්මාණකරුවන්ගේ මෙහෙවර අගයමින් උපහාර තිළිතිණ පිරිනැමිමටද මහජන බැංකුව කටයුතු කරන ලදී. මේ සඳහා සහභාගි වූ නිර්මාණකරුවන් අතරින්, එකම මහජන බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයා බී. විමලරත්න මහතා වීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, ආයතනික හා විධායක කළමනාකාරිත්වය,සම්භාවනීය අමුත්තන්,කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
මෙම ‘A Gallery in the Bank’ - Priceless Treasures of People’s Bank වාර්තා චිත්‍රපටය People’s Bank නිල Facebook සහ YouTube නාලිකාව ඔස්සේ නැරඹිමේ අවස්ථාව සලසා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
