හම්බන්තොට වරාය 2025 භාණ්ඩ ප්‍රවාහනය සියයට 175කින් ඉහළට
2025 වසර තුළ සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කරමින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සිය පූර්ණ වාර්ෂික භාණ්ඩ ප්‍රවාහන පරිමාව 175%කින් ඉහළ නංවා ඇත. මෙම සාධනය වරාය අත්පත් කර ගෙන ඇත්තේ ගෝලීය වරාය කර්මාන්තය දැඩි අභියෝගකාරී තත්වයන්ට මුහුණ දෙමින් සිටි වසරකදීය.
2025 වසර තුළ මෙට්‍රික් ටොන් මිලියන 8.24ක බඩු තොග ප්‍රමාණයක් වරාය විසින් හැසිරවූ අතර, 2024 වසරේ හැසිරවූ මෙට්‍රික් ටොන් මිලියන 3.0ට සාපේක්ෂව බැලූ විට ප්‍රමාණවත් ඉහළ යාමකි.
ගෝලීය වෙළඳ ප්රවාහයේ අස්ථිරතාව, වරාය තදබද පීඩන, සැපයුම් දාම වෙනස් වීම්, මෙන්ම නිරතුරුව ඉහළ යමින් පවතින මෙහෙයුම් පිරිවැය මධ්‍යයේ වුවද තියුණු වර්ධනයක් ලබා ඇති HIPහි බහාලුම්, RORO සහ තොග භාණ්ඩ අංශයන් මෙම මෙම සාර්ථකත්වයට ප්‍රධාන හේතුව විය.
අංශයන් අතරින් වැඩිම ප්රතිලාභ ගෙන ආවේ බහාලුම් ප්‍රවාහනය වන අතර, 2025 දී ඉහළ ගිය පරිමාව සම්මත අඩි 20 බහාලුම් (TEU) 428,036ක් විය. 2024 දී වරාය විසින් වාර්තා කළ පරිමාව TEU 53,170කි. එමෙන්ම වරාය විසින් හැසිරවූ බහාලුම් බඩුතොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් 657,504 සිට මෙට්‍රික් ටොන් මිලියන 5.43 දක්වා වැඩි විය. එක් වසරක් තුළ ලබා ඇති මෙම සීග්‍ර වර්ධනය, සැලකිය යුතු බහාලුම් දොරටුවක් ලෙස HIP සථානගත වීමේ නිශ්චිත සළකුණකි.
2026 වසර අවසන් වන විට නිම කිරීමට සැලසුම් කර ඇති දෙවන අදියර මඟින් වරායේ වාර්ෂික බහාලුම් හැසිරවීමේ ධාරිතාව ආසන්න වශයෙන් TEU මිලියන 2 දක්වා වැඩි කිරීමට වරාය බලාපොරොත්තු වෙයි. ගෝලීය මෝටර් රථ වෙළඳපොළ මන්දගාමී වී තිබියද, RORO මෙහෙයුම් ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කළේය. 2024 වසරේ හැසිරවූ ඒකක 579,362ට සාපේක්ෂව 2025 දී RORO ඒකක 726,153 ක් හසුරුවා ඇති අතර, RORO භාණ්ඩ මෙට්‍රික් ටොන් ප්‍රමාණය 965,783 දක්වා වැඩි කරමින්, වාර්ෂිකව 25% ක ස්ථීර ඉහළ යෑමක් වාර්තා කිරීමට වරාය සමත් විය.
කාර්මික සක්‍රීයතාව, යටිතල ව්‍යාපෘති සහ විවිධ සැපයුම් දාමයන්ට සහාය වීම වෙනුවෙන් වරායේ වර්ධනය වෙමින් පවතින වගකීම සහ කාර්යභාරය තහවුරු කරමින්, HIP සිය තොග සහ බ්රේක් බල්ක් තොග භාණ්ඩ ප්‍රවාහන පරිමාවන් තවදුරටත් ශක්තිමත් කර, ටොන් මිලියන 1.18 ක් දක්වා ඉහළ යමින්, වාර්ෂිකව 32% ක වැඩි වීමක් වාර්තා කළේය. ගෝලීය බලශක්ති වෙළඳපොළ තත්ත්වයන්ට අනුව, වරායේ තෙල් සහ ගෑස් පරිමාවන් මෙට්‍රික් ටොන් 661,131 ක ස්ථාවරයක් පෙන්නුම් කළේය.
“2025 වසරේදී වරායක් ලෙස ක්‍රියාත්මක වීම පහසු කාර්යයක් වූයේ නැහැ” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා පැවසීය. "මෙම කාර්ය සාධනයේ කැපී පෙනෙන ලක්ෂනය වන්නේ අප ලැබූ වර්ධන පරිමාණය පමණක් නෙවෙයි, නොනවත්වා පැවති ගෝලීය බාධා මධ්‍යයේ එය සාක්ෂාත් කර ගැනීමයි. පාරිභෝගික විශ්වාසය, මෙහෙයුම් නම්‍යශීලීභාවය, ශ්‍රී ලංකාව සහ ගෝලීය වෙළඳපළට සුදුසු නිපුණ අලෙවිකරණ උපාය මාර්ග මෙන්ම අපගේ කණ්ඩායමේ කැපවීම මෙම පරිමාවන් පිළිබිඹු කරනවා."
බහාලුම්, RORO සහ තොග භාණ්ඩ අංශයන්ගේ නිරතුරු ව්‍යාප්තියත් සමඟ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉතාමත් ශක්තිමත් ගම්‍යතාවකින් 2026 වසරට පිවිසෙයි. එමෙන්ම, වෙළඳාම, සහ කර්මාන්තයන්ට අඛණ්ඩව සහාය වෙමින්, තිරසාර කලාපීය ආර්ථික සංවර්ධනයක් සහතික කිරීම කෙරෙහි වරාය අවධානය යොමු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
