හම්බන්තොට ජාත්‍යන්තර වරාය බහාලුම් හැසිරවීමේ නව වාර්තාවක්
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත පැමිණි ‘MSC මාරි ලෙස්ලි’ බහාලුම් නෞකාවේ සාර්ථක හැසිරවීමත් සමග, මෙතෙක් එක් නෞකාවකින් හසුරුවා ඇති ඉහළම බහාලුම් පරිමාව වාර්තා කිරීමට පසුගිය දා වරාය සමත් විය.
මෙම ජයග්‍රහණය, බහාලුම් බඩු තොග සඳහා කලාපයේ නැගී එන මධ්‍යස්ථානයක් ලෙස HIP හි ස්ථාපිතය තවදුරටත් ශක්තිමත් කරයි.
මෙඩිටරේනියන් නැව් සමාගම (MSC) විසින් ක්‍රියාකරවන මෙම නෞකාව, 2026 අප්‍රේල් 11 සිට 15 දක්වා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රැදී සිටි අතර, එම කාලය තුළ බහාලුම් 7,968ක් පරිහරණය කරමින්, සමස්ත TEU 13,260ක පරිමාවක් HIP විසින් වාර්තා කොට ඇත. මේ දක්වා, එක් නෞකාවක් සඳහා HIP විසින් හැසිරවූ ඉහළම බහාලුම් පරිමාව ලෙස මෙය සැලකේ.
මෙම නවතම සන්ධිස්ථානය, මෙවසර මාර්තු මාසයේ වරාය වෙත පැමිණි MSC ඉලෙනියා සහ MSC රූබි යන බහාලුම් නෞකා සඳහා හැසිරවූ පිළිවෙළින් TEU 12,957 සහ TEU 11,369 යන පරිමාවන් ඉක්මවයි. ස්ථීර ලෙස ඉහළ යන වරායේ බහාලුම් හැසිරවීමේ ප්‍රවණතාව මෙයින් සනාථ වෙයි.
‘MSC මාරි ලෙස්ලි’ මෙහෙයුම HIP හි කාර්යක්ෂමතාව මෙන්ම ඉහළ පරිමා රැගත් නෞකා කළමනාකරණය කිරීමේ හැකියාව පිළිබිඹු කරන බව වරාය නිලධාරීන් සඳහන් කරයි. “මෙම ජයග්‍රහණය අපගේ සියලු අංශයන් අතර ඇති සැබැඳියාව, විනය සහ ප්‍රවීණත්වය ප්‍රකාශ කරනවා,” යි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ටොමී යැං මහතා පවසයි.
“අඛණ්ඩව ඉහළ යන පරිමාවන් සමග, අපගේ ප්රමුඛ අවධානය යොමු වන්නේ අප අනුග්රාහකයන් සියල්ලන්ට ආරක්ෂිත, කාර්යක්ෂම සහ විශ්වාසදායී සේවාවන් ලබාදීම වෙනුවෙන්” බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
HIP හි ඉංජිනේරු, ආරක්ෂක සහ යාත්‍රණ, ඇතුළු බහුවිධ අංශ මෙන්ම බාහිර හවුල්කරුවන් ද මෙහෙයුම සඳහා දායක විය.
වෙනස් වන ගෝලීය වෙළඳ රටා මධ්‍යයෙහි විකල්ප ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථාන සඳහා වැඩෙන ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන්, ප්‍රධාන නැගෙනහිර-බටහිර නැව් මාර්ගයේ සිට නාවික සැතපුම් 10 ක දුරින් පිහිටා ඇති හම්බන්තොට ජාත්‍යන්තර වරාය, එහි බහාලුම් හැසිරවීමේ හැකියාවන් නොනැවතී වැඩිදියුණු කරමින් සිටී.
MSC Marie Leslie නෞකාව සාර්ථකව හැසිරවීම, විශාල පරිමාවන් සඳහා පහසුකම් සැලසීමට HIP හි සූදානම තහවුරු කරන අතර කලාපීය සමුද්‍ර ලොජිස්ටික්ස් ජාලය තුළ වරායේ වර්ධනය වන කාර්යභාරය වඩාත් සවිගන්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
