හම්බන්තොට ජාත්‍යන්තර වරායේ බහාලුම් ධාරිතාව තවදුරටත් ඉහළට
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) තම බහාලුම් මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, නව දොඹකර උපකරණ සඳහා ඇ.ඩො.මිලියන 108 ක් ආයෝජනය කිරීමේ ගිවිසුමක් අත්සන් කර ඇත. එමගින් වරායේ බහාලුම් පර්යන්ත ධාරිතාව ව්‍යාප්ත වනවා පමණක් නොව, ඉන්දියන් සාගරයේ නැගී එන ලොජිස්ටික්ස් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාපිතය වඩාත් ශක්තිමත් කරනු ඇත.
මාර්තු 26 වන දින කොළඹ හිල්ටන් හෝටලයේ පැවති උත්සවයකදී, HIPG සහ ෂැංහයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම (ZPMC) අතර මෙම ගිවිසුම අත්සන් කරන ලදී. වරායේ බහාලුම් පර්යන්ත වර්ධනය කිරීමේ දෙවන අදියර යටතේ ආරම්භක පියවර වන මෙම ගිවිසුම, quay දොඹකර 6ක්, රබර් ටයර් ගැන්ට්‍රි දොඹකර (RTGs) 16ක් සහ ට්‍රේලර් 40ක් මිලදී ගැනීමට එකඟතාවයකි.
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං මහතා උත්සවය අමතමින් කියා සිටියේ, අත්සන් කළ ගිවිසුම වරාය අංශයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ගත් වැදගත් පියවරක් මෙන්ම Belt and Road සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ ජයග්‍රහණය සනිටුහන් කිරීමක්ද වන බවයි.
“එය අන්‍යෝන්‍ය ප්රතිලාභ සහ සබැඳී වර්ධනය වෙනුවෙන් අපගේ හවුල් කැපවීම තහවුරු කරනවා මෙන්ම ශ්‍රී ලංකාවේ වරාය පද්ධතියේ වර්ධනයට නව ප්රවර්තක ශක්තියක්ද ලබා දෙනු නියතයි” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
මැද පෙරදිග භූ දේශපාලනික අවිනිශ්චිතභාවය වැනි අර්බුදකාරී තත්වයන් හේතුවෙන්, ගෝලීය නාවික රටා නිරතුරුව වෙනස් වෙමින් පවතී. එනිසා විකල්ප ලොජිස්ටික්ස් මධ්‍යස්ථාන කෙරෙහි පැන නැගී ඇති වැඩි ඉල්ලුම මධ්‍යයේ මෙම ආයෝජනය සිදු කිරීම සුවිශේෂ කරුණකි. ප්‍රධාන නැගෙනහිර-බටහිර නැව් මාර්ගයේ සිට නාවික සැතපුම් 10 ක් පමණ දුරින් පිහිටා ඇති හම්බන්තොට ජාත්‍යන්තර වරාය, අවම මාර්ග වෙනස්වීමක් සහ ස්ථාවර මෙහෙයුම් අපේක්ෂා කරන නැව් සමාගම් සඳහා විශ්වාසනීය, කාර්යක්ෂම විකල්පයකි.
ගිවිසුම් ගත් උත්සවයේ ප්‍රධාන ආරාධිතයෙකු වූ වරාය හා නාවික අමාත්‍ය අනුර රුණතිලක මහතා, ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව, නැව්ගත කිරීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට, පුළුල් සමුද්‍ර සේවා මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට ආ යුතු බවයි.
“ඉන්ධන සැපයුම්, නැව් අලුත්වැඩියා, නාවික පිරිස් මාරු වීම් වැනි ලොජිස්ටික්ස් සේවා සියල්ලක්ම සපයමින්, මුල සිට අග දක්වා සමුද්‍රීය විසඳුම් ලබා දීමේ මධ්‍යස්ථානයක් ලෙස අප ස්ථානගත විය යුතුයි. ප්‍රධාන වශයෙන්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, ගෝලීය සමුද්‍රීය කොටස්කරුවන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමට හැකියාව ඇති, වරාය සහ කාර්මික පරිසර සංකලිත වූ නවීන පද්ධතියක් බවට පරිණාමය වෙමින් පවතිනවා. එමෙන්ම, තම සැපයුම් දාම විවිධ කිරීමටත්, උපායමාර්ගික මෙහෙයුම් වෙනත් ස්ථාන වෙත ගෙන යාමටත්, වත්මන් ගෝලීය පරිසරය, සමාගම් හට අනුබල දෙනවා. එවැනි ආයෝජන පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානම්. පුළුල් වන කාර්මික කලාප, ආයෝජක-හිතකාමී ප්‍රතිපත්ති සහ වැඩිදියුණු වන සම්බන්ධකතාවත් සමගින්, ලොජිස්ටික්ස්, සැහැල්ලු නිෂ්පාදන වැනි වටිනා සේවාවන් සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත වීම අපගේ අරමුණයි."
“අත්සන් තැබූ ගිවිසුම ශ්‍රී ලංකා-චීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන අතරම, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, වාසිදායක අන්‍යෝන්‍ය හවුල්කාරිත්වයේ ප්රමුඛ උදාහරණයක් ලෙස සවි ගන්වනවා. ඉන්දියානු සාගරය තුළ දේශයේ ස්ථාපිතය වැඩි දියුණු කිරීම සඳහා කොළඹ වරාය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය මධ්‍යස්ථානයක් කිරීමට අපගේ දැක්මටත් මෙය රුකුලක් වනු ඇති” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.
මීටර් 72ක් දක්වා විහිදීමේ හැකියාව, මීටර් 55ක එසවුම් උස සහ ටොන් 65ක එසවුම් ධාරිතාවෙන් යුත් නව දොඹකර, HIP හට ලොව විශාලතම බහාලුම් යාත්‍රා හැසිරවීමේ හැකියාව ලබා දෙයි. එමෙන්ම, RTG දොඹකර අංගන කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන අතර විද්‍යුත්කරණය හරහා පාරිසරික වශයෙන් තිරසාර මෙහෙයුම් සහතික කරනු ඇත.
මෙම උපකරණ යෙදවීමෙන් අනතුරුව, වරායේ අමතර මීටර් 1,300 ක බහාලුම් නැංගුරම් පොළ සක්‍රීය වන අතර, වාර්ෂික බහාලුම් හැසිරවීමේ ධාරිතාව ආසන්න වශයෙන් TEU මිලියන 2 දක්වා ඉහල නැංවීමට උපකාරී වනු ඇත. මුළු බහාලුම් තොටුපළෙහි දිග ආසන්නව කිලෝමීටර 2 ක දක්වා පුළුල් කිරීම හේතුවෙන් එකවර විශාල නෞකා කිහිපයක් හැසිරවීමට වරායට හැකි වේ.
චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං මහතා; වරාය හා නාවික අමාත්‍ය අනුර කරුණාතිලක මහතා; වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා; ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජෙනරාල් සීවලි අරුක්ගොඩ මහතා; ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් රේණුකා වීරකෝන් මහත්මිය; CMport හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ HIPG හි සභාපති වින්සන්ට් ලූ මහතා; HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ෂූ මහතා; ZPMC හි උප සභාපති ෂැං ජියන් මහතා සහ ZPMC හි වෙළඳාම් සහ අලෙවිකරණ කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ මයිකල් යැං මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට සහභාගී වූහ.
ඡායාරූපය - (වමේ සිට දකුණට) HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ෂූ මහතා සහ ZPMC හි වෙළෙඳාම් සහ අලෙවිකරණ කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ මයිකල් යැං මහතා, ගිවිසුමට අත්සන් තබමින්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
