සමස්ත සම්මාන 15ක් සමග 27 වැනි ජනාධිපති අපනයන සම්මාන දිනූවෝ
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලැබූ ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 දෙසැම්බර් මස 11දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණෙන බව සඳහන් කර තිබුණත්, මෙම අවස්ථාවට අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැමිණ සිටියාය. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීම මෙම සම්මාන ප්රදානය මගින් බලාපොරොත්තු වන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර මේ දක්වා සම්මාන උළෙල 26ක් සංවිධානය කොට ඇත. 27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල සඳහා කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, අපනයනකරුවන් ඇතුළු ආරාධිතයන් 1,500ක් පමණ සහභාගී වූහ.
2024/2025 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත්වෙන මෙම උළෙලේදී සමස්ත සම්මාන 15ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 92ක් ඇතුළු සම්මාන 107ක් පිරිනමන ලදී. තවද, අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මෙන්ම, ජාතික ආර්ථිකයට අදාළ අංශවල අපනයන දායකත්වය සැලකිල්ලට ගනිමින් විනිසුරු මඬුල්ල විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම්ලත් අංශ සඳහා කුසලතා සම්මාන පිරිනැමීමද සිදු කෙරිණි. ආංශික සම්මාන තෝරාගැනීම අපනයන ආදායම මත පමණක් නොව, තවත් නිර්ණායක කිහිපයක් මත පදනම් වූ අතර, අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, අපනයන ආදායමෙහි වර්ධනය, අපනයන ආදායම් ආපසු රටතුළට ගෙන්වා ගැනීම, පාරිසරික තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම, අගය එකතු කිරීම වැනි දෑ සැලකිල්ලට භාජනය විය.
මෙම කීර්තිමත් සම්මානය සඳහා අපනයන ප්‍රජාවගේ උද්යෝගය පෙන්නුම් කරමින් අයදුම්පත් විශාල සංඛ්‍යාවක් අපනයන සංවර්ධන මණ්ඩලය වෙත මෙවර ලැබී තිබිණි. අයදුම්පත් වල මූලික ඇගයීම තාක්ෂණික කමිටුව විසින් සිදු කරන ලද අතර සම්මානලාභින් තෝරා ගැනීම සිදුකරනු ලැබූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසිනි. Ernst & Young (EY) 27 වන ජනාධිපති අපනයන සම්මාන උළෙළ සඳහා "දැනුම සහකරු" ලෙස කටයුතු කරන ලදි.
අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ, නව රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ශ්‍රී ලංකාවේ අපනයන පුළුල් කිරීම සඳහා නව උපාය මාර්ග ක්‍රියාත්මක කර ඇති බවය. එමගින් ශ්‍රී ලංකාවේ අපනයන සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, වෙළෙඳපොළ විවිධාංගීකරණය, නිෂ්පාදන විවිධාංගීකරණය, නවෝත්පාදන, අගය එකතු කිරීම, දේශීය සන්නාම ලෝකයට හඳුන්වාදීම, අපනයනවල තිරසාර බව, කලාපීය අගය දාමයන්හි සංවර්ධනය යනාදී ක්ෂේත්රයන්හි අපනයනකරුවන් විසින් ගෙන ඇති මුලපිරීම් රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා වැදගත් ලෙස සැලකේ.
ජනාධිපති අපනයන සම්මාන උළෙළ මගින් ජයග්රහකයන්ට සම්මානයක්/ සමරු ඵලකයක් සහ සහතිකයක් පිරිනමන අතර ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3 ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමේ හැකියාව සම්මාන ලාභීන්ට හිමිවේ.
ශ්‍රී ලංකාවේ අපනයනය ප්‍රවර්ධනය දිරිමත් කිරීම සඳහා පැවැත්වුණු 27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල සඳහා මෙවර මහජන බැංකුව (People's Bank) ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ද ශ්‍රී ලංකා තේ මණ්ඩලය (SLTB) සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව (SLECIC) රිදී අනුග්රහකයින් ලෙස ද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ අත්වැල් බැඳගෙන තිබුණි.
2024/2025 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත්වූ මෙම උළෙලේදී සමස්ත සම්මාන 15ක් පිරිනමන ලදී. ඒ අනුව,
1. වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරු - සේවා අංශය - Lanka Hydraulic Institute Limited
2. වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරු - නිෂ්පාදන අංශය - Hero Nature Products (Pvt) Ltd
3. වසරේ නැගී එන අපනයනකරු - Bughary Bio Spices (Private) Limited
4. වසරේ කාන්තා අපනයනකරු - Senikma Holdings (Pvt) Ltd
5. නැගී එන වෙළඳපොළවල හොඳම කාර්ය සාධනයක් දක්වන අපනයනකරු - Lanka Marine Services (Private) Limited
6. ප්‍රාදේශීය වශයෙන් අපනයන සැපයුම් දාමයට දායකත්වය - Omega Line Limited
7. වසරේ නව්‍ය අපනයන සේවාව - Sysco Labs Technologies (Private) Limited
8. වසරේ නව්‍ය අපනයන නිෂ්පාදනය - Ultracarb (Private) Limited
9. අපනයනවල තිරසාර සංවර්ධනයට දායකත්වය - Dilmah Ceylon Tea Company PLC
10. වසරේ හොඳම අගය එකතු කළ අපනයනකරු - H S B C Electronic Data Processing Lanka (Private) Limited
11. නිෂ්පාදන විවිධාංගීකරණයේ හොඳම අපනයනකරු - Omega Line Limited
12. වසරේ වෙළඳපොළ විවිධාංගීකරණය කළ අපනයනකරු - Dilmah Ceylon Tea Company PLC
13. වසරේ ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ ශ්‍රී ලාංකික සන්නාමය - Akbar Brothers (Private) Limited
14. වසරේ ශුද්ධ විදේශ විනිමය උපයන්නා - Akbar Brothers (Private) Limited
15. වසරේ අපනයනකරු - Omega Line Limited
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

