ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව මෙවර 26 වැනි වරටත්
ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන 26 වැනි ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව ලබන ඔක්තෝබර් 13 සහ 14 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බව එම මණ්ඩලය නිවේදනය කරයි.
රටේ ප්‍රමුඛතම ආර්ථික ප්‍රතිපත්ති සංවාද වේදිකාව ලෙස සැලකෙන මෙම සමුළුව සඳහා දේශීය හා ජාත්‍යන්තර දේශකයන්, සංවර්ධන හවුල්කරුවන්, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව ද සඳහන් වේ.
මෙවර සමුළුවේදී ආර්ථික වර්ධනය, තරගකාරීත්වය, ආයෝජන, වෙළෙඳාම, ඵලදායීතාව, රාජ්‍ය මූල්‍ය හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, තිරසාර සංවර්ධනය සහ වෙනස් වන ගෝලීය ආර්ථික පරිසරය ඇතුළු රටට වැදගත් මාතෘකා රැසක් පිළිබඳ අවධානය යොමු කෙරෙනු ඇත.
එමෙන්ම, අනාගත අභියෝගවලට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් ගොඩනැගීම, වෙළෙඳාම හා කලාපීය අගය දාම හරහා ආසියාවේ වර්ධන ජාලයන් සමඟ සබඳතා ශක්තිමත් කිරීම, සෞඛ්‍ය සේවාව ආර්ථික හා සමාජ ප්රගතියේ මෙවලමක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීම, බලශක්ති ආරක්ෂාව හා තිරසාරභාවය අතර සමතුලිතතාව පවත්වා ගැනීම සහ ඩිජිටල් පරිවර්තනය ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීම පිළිබඳවද පුළුල් සංවාද පැවැත්වෙනු ඇත.
අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනයේ අනාගතය, කෘත්‍රිම බුද්ධිය සහ නව තාක්ෂණයන් මගින් ආර්ථිකයන්, ව්‍යාපාර සහ සමාජයන් වෙත ඇතිවන අවස්ථා හා අභියෝග පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය.
පසුගිය වසරේ පැවැති 25 වැනි ආර්ථික හා ආයෝජන සමුළුව සඳහා සහභාගිවූවන් 850කට අධික පිරිසක් එක්වූ අතර, දේශීය හා ජාත්‍යන්තර කථිකයන් 40කට වැඩි පිරිසක් දායකත්වය ලබාදී තිබුණි. එමෙන්ම රටවල් 20කට අධික සංඛ්‍යාවක නියෝජිතයන්ගේ සහභාගිත්වයත් සමඟ එය කලාපයේ ප්‍රමුඛතම ආර්ථික සංවාද වේදිකාවක් ලෙස තවදුරටත් තහවුරු වී තිබුණි.
මෑත මාස කිහිපය තුළ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සිදුකළ ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් කලාපීය ව්‍යාපාරික ප්රජාවන්ගෙන් මෙවර සමුළුව සඳහා දැඩි උනන්දුවක් පළ වී ඇති බවද සඳහන් වේ. විශේෂයෙන්ම ඉන්දියාවේ මුම්බායි නගරයට ගිය ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායමේ සංචාරය ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ ඉන්දියානු ව්‍යාපාරිකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වූ බව වාර්තා වේ.
දශක දෙකකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය හැඩගස්වන අභියෝග සහ අවස්ථා පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන්, ව්‍යාපාරික නායකයන්, සංවර්ධන හවුල්කරුවන්, විද්වතුන් සහ ජාත්‍යන්තර විශේෂඥයන් එකම වේදිකාවකට රැස්කරමින් මෙම සමුළුව වැදගත් සංවාද මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර ඇත.
සමුළුවේ වැඩසටහන්, දේශකයන් සහ ලියාපදිංචි වීමේ ක්‍රමවේද සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිවේදනය කරන බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

