ශ්‍රී ලංකා රුපියල, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2005 අග වනවිට පැවති අගය රු.102 කි. 2014 අග වනවිට එය රු.131ක් විය. එනම්, වසර 9 ක් තුළ සාමාන්‍යයෙන් වසරකට 2.8%ක අවප්‍රමාණයකි. ඒ අතර, 2018 සැප්තැම්බර් මස 21 වැනිදා වනවිට, එම අගය රු.171ක් බවට පත්ව ඇත. ඒ අනුව, පසුගිය වසර 3.7ක පමණ කාලය තුළදී, මෑත ඉතිහාසයේ ශීඝ්‍රතම අවප්‍රමාණය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා රුපියල, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රු.40කින් පමණ පහළ වැටී ඇත. එම පහත වැටීම සාමාන්‍යයෙන් වසරකට 9.1%ක පමණ අවප්‍රමාණයකි. එමෙන්ම, පසුගිය සතිය තුළදී පමණක්, රුපියලේ වටිනාකම රු.163 සිට රු.171 දක්වා රු.8කින්, නැතහොත් 5%කින් පමණ කඩා වැටුනි. 2018 සැප්තැම්බර් මස 21 වැනිදා දින පමණක්, රුපියල, රු.2.02කින් අවප්‍රමාණය විය.
මේ අතර, සුපුරුදු ලෙස රජය නිදහසට කරුණු දක්වමින් රුපියල බාල්දුවීමට හේතුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩොලරය ශක්තිමත් කර ඇති නිසා යැයි පවසා සිටියි. එම තර්කය තහවුරු කිරීමට, ඉන්දියානු රුපියල සහ පකිස්තානු රුපියලත් මෑතකදී බාල්දු වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි. එහෙත්, ආර්ථික වශයෙන් ඉතා දුර්වලයැයි සැලකෙන රටවල් ඉදිරියේ පවා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව ඔවුන් නොකියයි. උදාහරණයක් වශයෙන්, 2018 වසරේදී බංගලාදේශ ටකා (Taka)වලට සාපේක්ෂව7.5%කින්ද, ඉතියෝපියාවේ බිර් (Birr)වලට සාපේක්ෂව 9.2%කින්ද, සිම්බාබ්වේ ඩොලරය (Dollar)ට සාපේක්ෂව 11.1%කින්ද, ශ්‍රී ලංකා රුපියල පහත වැටී ඇත.
පසුගිය වසර තුළදීම, ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පැවති බව සියලු දෙනා දැන සිටියහ. එසේ නම්, එම තත්ත්වයෙන් උද්ගත වන අභියෝගවලට මුහුණ දීමට සූදානම් වීම පාලකයන්ගේ වගකීමය. එසේ සූදානම් නොවී, සියල්ලන්ම අපේක්ෂා කළ තත්ත්වය ළඟාවූ විට, ඒ ගැන හැඬූ කඳුලෙන් යුතුව ජනතාව මත බර පටවන්නේ නම්, එයින් පිළිබිඹු වන්නේ අන්ත නොහැකියාව සහ නොසැලකිලිමත්භාවය හැර අන් කවරක්ද?
එපමණක් නොව, ආර්ථික ඔස්තාර් කෙනෙකු යැයි කියා ගන්නා යහපාලනයේ තවත් ඇමතිවරයෙක් කියා ඇත්තේ රුපියල අවප්‍රමාණය වීම රටට 'හිතකර' බවය. එහෙත්, සාමාන්‍ය ජනතාව පවා දන්නා පිරිදි, යම් ආර්ථිකයක මුදල් ඒකකයක් දිගටම බාල්දු වනවිට, එම ආර්ථිකය කෙරෙහි ඇති විශ්වාසය පසු බසියි. තවද, අවප්‍රමාණය (depreciate) වන එම ආර්ථිකය සැලකෙන්නේ දුර්වල වන එකක් ලෙසය. රටක මුදල් ඒකකය අධිප්‍රමාණය (appreciate) වනවිට, ඒ රට සාමාන්‍යයෙන් සැලකෙන්නේ ආර්ථිකමය ලෙස ශක්තිමත් වන රටක් වශයෙනි.
මහ බැංකු වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාරුපියලේ අවප්‍රමාණය වීම නිසා රාජ්‍ය ණය රු.බිලියන 696.9කින්, පසුගිය වසර 3 තුළදී ඉහළ ගොස් ඇත. ඒ අතර, 2017 අවසානයේදී රජයේ විදේශ ණය තොගය රු.බිලියන 4,719ක් බවට පත්විය. එනම්, ඇමෙරිකානු ඩොලර් බිලියන 31.4කි. තවද, 2018 සැප්තැම්බර් මස 21 වැනි දින වනවිට, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් 10%කින් අවප්‍රමාණය වී ඇති නිසා, පැවති ණය තොගය තවත් රු.බිලියන 472කින් වැඩිවී ඇතැයි ගණනය කළ හැකිය. ඊට අමතරව, 2018 වසර මුල් භාගයේදී ලබාගත් විදේශ ණය වන ඇ.ඩො.බිලියන 3.5ක මුදලද, 2018 ජූලි සිට සිදුවූ තියුණු අවප්‍රමාණයට ගොදුරු වී ඇත. ඒ සඳහාද, සෑම ඇමෙරිකානු ඩොලරයකටම වැඩිපුර රු.10ක් පමණ දැනටමත් ආපසු ගෙවීම සඳහා අයවැයෙන් වෙන් කරන්නට සිදු වන්නේය. එනම්, තවත් රු.බිලියන 35ක් ශ්‍රී ලංකා ණය තොගයට එකතු වී හමාරය. ඒ අනුව, මේ වසරේදී, රටේ සම්පත් තොගයට කිසිදු සම්පතක් එකතු නොවූවත්, රටේ ණය තොගයට රු.බිලියන 507ක් එකතු වී ඇත. එම මුදල, මීට පෙර ශ්‍රී ලංකාවේ සිදුකරන ලද දැවැන්ත ව්‍යාපෘති කිහිපයක්ම නිම කරන්නට ආයෝජන කළ මුදල හා ආසන්න මුදලක් වීම විශේෂත්වයකි.
පසුගිය රජය යටතේ දියත් කරනලද ව්‍යාපෘති ඇ.ඩො.මිලියන රුපියල් බිලියන
කොළඹ/කටුනායක අධිවේගී මාර්ගය 385 48
කොළඹ/ගාල්ල අධිවේගී මාර්ගය 740 92
ගාල්ල/මාතර අධිවේගී මාර්ගය 152 19
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය 900 103
හම්බන්තොට වරාය 1,100 137
මත්තල ගුවන් තොටුපළ 240 30
උතුරේ සහ නැගෙනහිර මාර්ග ප්‍රතිසංස්කරණය 700 87
එකතුව 4,217 516
මෙලෙස රුපියලේ කඩා වැටීමත් සමග, ආර්ථිකයේ සහ රජයේ තවත් දැවැන්ත කම්පා කිහිපයක්ද හටගෙන ඇත. 2014 දී ගෙවූ පොලිය රු.බිලියන 443ක් වුවද, 2018 දී ගෙවන්නට නියමිත පොලිය රු.බිලියන 820ක් වී ඇත. ණයබරතාවය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 71% සිට 87% දක්වා වැඩිවී ඇත. ණය තොගය රු.බිලියන 7,391 සිට මේ වන විට රු.බිලියන 11,971 දක්වා රු.බිලියන 4,580කින් (62%) වැඩි වී ඇත. ජනතාව සහ ව්‍යාපාර ගෙවන සියලුම පොලී අනුපාතයන් 50%කින් පමණ වැඩි වී ඇත. රටේ ඉහළම පෙළෙහි ව්‍යාපාර සිට මධ්‍යම සහ කුඩා පරිමාණයේ ව්‍යාපාර රැසක් වැසී යමින් පවතී. මහ බැංකු දත්ත අනුව, 2014 දී වැඩකරන සංඛ්‍යාව මිලියන 8.4ක් වුවද, 2018 දී වැඩකරන සංඛ්‍යාව මිලියන 7.9ක් දක්වා ලක්ෂ 5කින් පමණ අඩු වී ඇත. බැංකු, මූල්‍ය ආයතන සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කඩා වැටීමේ අවදානම බොහෝ සේ වැඩි වී ඇත. නව ආයෝජකයන් ශ්‍රී ලංකාව වෙත පැමිණීම සම්පූර්ණයෙන්ම පාහේ අත්හිටවී ඇත. තවද, ඉදිරි සති කිහිපය තුළදී, මහ බැංකුව විසින් පොලී අනුපාතයන්ද වැඩිකිරීමට හැකියාවක් පවතින අතර, සමස්ත මූල්‍ය පද්ධතියම විශාල පීඩනයකට ගොදුරුවීම අනිවාර්ය වනු ඇත.
එමෙන්ම, 2014 දී දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 79.4ක් ලෙස පවතින විට සමස්ත බදු, ගාස්තු සහ දඩ ප්‍රමාණය රු.බිලියන 1,050ක් වුවද, 2018 වනවිට, දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 85.0ක් පමණ දක්වා වැඩි වනවිට, දැවැන්ත ලෙස බදු, ගාස්තු සහ දඩ ජනතාව මත පටවමින් රු.බිලියන 2,034ක (එනම් දෙගුණයක් පමණ) මුදලක් ජනතාවගෙන් අයකර ගැනීමට රජය බලාපොරොත්තු වන බව පෙනෙන්නට තිබේ.
තත්ත්වය මෙලෙස දරුණු මට්ටමක තිබුණද, රුපියල ස්ථාවර කිරීම සඳහා යෙදවීමට අවශ්‍ය විදේශ විනිමය මහ බැංකුව සතුව නොමැත. මුදල් ඇමති පවසා ඇති පරිදි, තිබෙන සංචිත, ණය ගෙවීමට පමණක් ප්රමාණවත්ය. ඒ නිසා, රුපියල ස්ථාවර කිරීමට ඒවා යෙදවිය නොහැකිය. ඒ හේතුවෙන්, තම ඇස් පනා පිට රුපියල කඩා වැටෙද්දීත්, සමස්ත ආර්ථිකයම විනාශ වෙද්දීත්, මෙම අදක්ෂ රජයට කළ හැකි වන්නේ ඒ දෙස බලා සිටීම පමණි.
වර්තමාන රජය විසින්ම නිර්මාණය කර ගන්නා ලද මෙම කම්පාසහගත තත්ත්වය දෙස ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජනතාවට නම් තවදුරටත් බලා සිටිය නොහැක. මෙම තත්ත්වය වහා වෙනස් කොට ආර්ථිකය රැක ගැනීමට නම්, රජය වහාම ඉල්ලා අස්වී, මැතිවරණයක් පවත්වා, මෙම ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දිය හැකි රජයක් පත් කර ගන්නට ජනතාව දැඩි ලෙස බල කල යුතුය. එසේ නොවුවහොත්, සමස්ත ශ්‍රී ලංකා ජනතාවටමද, ඉදිරි අනාගත පරම්පරාවලටද සදහටම පාහේ මෙම ආර්ථිකයේ කඩා වැටීමෙන් පහළ වන අර්බුධවල විනාශකාරී විපාක අත්විඳන්නට සිදුවනු හැකිය.