ලංකා වාණිජ මණ්ඩලය SME සඳහා ’Scale Up 2.0’ ගෙනේ
ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (SME) ක්ෂේත්රය මුහුණ දෙන දැවෙන අභියෝගවලට ප්‍රායෝගික සහ තිරසාර විසඳුම් සපයමින්, ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කරන “Scale Up 2.0” ජාතික ව්‍යවසායක සංසදය 2026 අගෝස්තු 11 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙවර සංසදය හැඩගැසෙන්නේ “සම්බන්ධිත, තරඟකාරී, වර්ධනයට සූදානම්” (Connected, Competitive, Ready to Grow) යන කාලෝචිත තේමාව පෙරදැරි කරගෙනය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම, මූල්‍ය පහසුකම් සලසා ගැනීම, විකාශනය වන ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලීම සහ දේශීය හා ගෝලීය අගය එකතු කිරීමේ දාමයන් සමඟ ඒකාබද්ධ වීම යන ක්ෂේත්රයන්හි අඛණ්ඩව අභියෝගවලට මුහුණ දෙන බැවින්, මෙම බාධක ජය ගැනීමට අවශ්‍ය පාර්ශ්වකරුවන් සහ සම්පත් සමග ඔවුන්ව සම්බන්ධ කිරීමේ වේදිකාවක් ලෙස Scale Up 2.0 සැලසුම් කර ඇත.
මෙම සංසදය මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ගැනුම්කරුවන්, මූල්‍ය ආයතන, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ව්‍යාපාරික ආධාරක සංවිධාන සමග සෘජුවම සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන අතර, එමගින් අවස්ථා හඳුනා ගැනීමටත්, අදාළ සම්පත් ලබා ගැනීමටත් සහ ඔවුන්ගේ මෙහෙයුම් ශක්තිමත් කර ව්‍යාපාර වර්ධනය කර ගැනීමට අවශ්‍ය සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත් උපකාරී වේ.
ප්‍රථම 'Scale Up' සංසදයේ සාර්ථකත්වය මත පදනම්ව, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ දිගුකාලීන තරඟකාරිත්වය සහ වර්ධන විභවය ශක්තිමත් කරන විසඳුම් හඳුනා ගැනීම සඳහා මෙවර ද ප්‍රතිපත්ති සම්පාදකයින්, ව්‍යාපාරික නායකයින්, මූල්‍ය ආයතන, සංවර්ධන හවුල්කරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) එකම වහලක් යටට එක් කරනු ඇත.
මෙම වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රමුඛතා පිළිබඳ සමාරම්භක සැසියකින් සමන්විත වන අතර, ඉන් අනතුරුව තාක්ෂණික සැසි තුනක් පැවැත්වේ. ඒවා මඟින් වෙළඳපල ප්‍රවේශය සහ අගය දාම ඒකාබද්ධතාවය, ප්‍රමිති සහ සහතිකකරණය, මෙන්ම වැඩිදියුණු කළ ආයෝජන සූදානම සහ මූල්‍ය ප්‍රවේශය හරහා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් පුළුල් කිරීමේ උපාය මාර්ග පිළිබඳව විමසා බලනු ඇත.
සම්මන්ත්රණ සැසිවලට අමතරව, මෙම සංසදයට විශේෂිත වූ සෘජු හමුවීම් (B2B) ජාලකරණ අංශයක් ද ඇතුළත් වේ. එමගින් ව්‍යාපාරවලට ස්වාධීනව සංවාද ආරම්භ කිරීමට, හවුල්කාරිත්වයන් ගවේෂණය කිරීමට, මූල්‍ය විකල්ප හඳුනා ගැනීමට සහ වර්ධන අභියෝගවලට මුහුණ දීම සඳහා ආධාරක සේවාවන් ලබා ගැනීමට මුලපිරීමේ හැකියාව ලැබේ. මෙම අන්තර්ක්‍රියාකාරී වේදිකාව නව ව්‍යාපාරික සබඳතා, ප්‍රසම්පාදන අවස්ථා සහ දිගුකාලීන ව්‍යාපාරික ව්‍යාප්තියට උපකාරී වන මගපෙන්වීම් සඳහා පහසුකම් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2026 ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංසදය සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි. ලියාපදිංචිය සහ වැඩිදුර තොරතුරු සඳහා, https://event.chamber.lk/event-register/486 වෙත පිවිසෙන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

