ලංකා වාණිජ මණ්ඩලයේ 187 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූනි 25දා
ලංකා වාණිජ මණ්ඩලයේ 187 වන වාර්ෂික මහා සභා රැස්වීම (AGM) එලැඹෙන ජූනි 25 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 5.30 ට Cinnamon Life හි පිහිටි The Forum ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙවර මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා සහභාගී වීමට නියමිත අතර, එහිදී ඔහු විසින් විශේෂ දේශනය පවත්වනු ඇත. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින දීර්ඝකාලීන සබඳතා මින් මනාව පිළිබිඹු වන අතර, මෙරට ව්‍යාපාරික ප්‍රජාව වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීම, ආයෝජක විශ්වාසය තහවුරු කිරීම සහ අඛණ්ඩ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර ඇති මෙවැනි තීරණාත්මක වකවානුවක ඔහුගේ මෙම පැමිණීම සුවිශේෂී වන බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
මෙහිදී, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ද සභාව ඇමතීමට නියමිතය. පසුගිය වසරේ මණ්ඩලය ලබාගත් ප්‍රගතිය මෙන්ම, ඉදිරියට ඇති ප්‍රමුඛතා පිළිබඳව ඔහු එහිදී කරුණු පැහැදිලි කරනු ඇත. පුද්ගලික අංශයේ තරඟකාරීත්වය ඉහළ නැංවීම, සාක්ෂි පදනම් කරගත් ප්‍රතිපත්තිමය උපදේශනය සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම වෙනුවෙන් ලංකා වාණිජ මණ්ඩලය දරන අඛණ්ඩ උත්සාහය පිළිබඳ පුළුල් සමාලෝචනයක් ඔහුගේ කතාවට ඇතුළත් වනු ඇත.
මහා සභා රැස්වීමේ නිල කටයුතුවලින් අනතුරුව, සහභාගී වන සාමාජිකයින් සහ ආරාධිතයින් වෙනුවෙන් අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කරගැනීමේ (Networking) සුහද හමුවක්ද සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට සම්බන්ධ වීමට කැමති ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන්ට [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ලියාපදිංචි විය හැක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

