මැදපෙරදිග අර්බුදය මැද හම්බන්තොට ජාත්‍යන්තර වරාය ධාරිතාව පුළුල් කරයි
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ගෝලීය නැව්බඩු ප්‍රවාහන පරිමාවන් විශාල ලෙස ඉහළ යාමට ප්‍රතිචාර වශයෙන්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සිය මෙහෙයුම් ධාරිතාව සැලකිය යුතු ලෙස පුළුල් කර තිබේ.
එමගින් නැගෙනහිර–බටහිර නාවික මාර්ගයේ ප්‍රධාන විකල්ප ලොජිස්ටික්ස් මධ්‍යස්ථානයක් ලෙස වරායේ ස්ථාපිතය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකිව ඇත.
HIPහි RoRo අංගන ධාරිතාව දෙගුණ කර ඇති අතර, බහාලුම් අංගන ධාරිතාවද 30%කින් වැඩිකර ඇත. මැදපෙරදිග අර්බුදයෙන් අවහිරව තිබෙන නැව් මාර්ග සඳහා ස්ථාවර හා කාර්යක්ෂම විකල්ප සොයන නැව් සමාගම් හට මෙය කදිම අවස්ථාවකි.
HIP හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ෂූ මහතා පවසන්නේ, ගෝලීය නැව්ගත කිරීමේ රටාවන්හි ව්‍යුහාත්මක වෙනසක් දක්නට ඇති බවයි.
“මෙවැනි වෙනස්කම්වලට මුහුණ දීමට HIP හි ධාරිතාව, වේගය සහ කාර්යක්ෂමතාව වඩාත් ශක්තිමත් කිරීම කෙරෙහි අපි අවධානය යොමු කර තිබෙනවා. මෙවැනි අවස්ථාවන්හිදී ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට අපට ඇති හැකියාව මෙන්ම වරායේ උපාය මාර්ගික පිහිටීම, ගෝලීය නැව් සමාගම් සඳහා කාලීන, කාර්යක්ෂම සේවාවන් ලබා දීමට විශාල රුකුලක්. කලාපයේ ප්‍රධාන ලොජිස්ටික්ස් සහ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්, යටිතල පහසුකම් සහ හැකියාවන් ඉහළ නැංවීම සඳහා අප දිගින් දිගටම ආයෝජනය කරනවා” යැයි ඔහු තවදුරටත් අවධාරණය කළේය.
වාහන ප්‍රතිනැව්ගත කිරීම මෙන්ම බහාලුම් පරිමාවන්ද ඉහළ යාමත් සමඟ, HIP හි අංගන භාවිත මට්ටම් මෙතෙක් ඉහළම මට්ටමේ පැවතීම, ගෝලීය සැපයුම් දාමයන් හට ඇති බාධා කෙතරම්දැයි ඉස්මතු කරන අතරම ගෝලීය වෙළඳාම තුළ වරායේ වර්ධනය වන උපායමාර්ගික වැදගත්කම පිළිබිඹු කරයි.
වැඩි වී ඇති හැසිරවීමේ ධාරිතාවට ඉඩ සැලසීම සඳහා, HIP විසින් ප්‍රධාන බඩු ප්‍රවාහන අංශ දෙකෙහිම අංගන අවකාශ පුළුල් කර ඇත. ඉතා කෙටි කාලයක් තුළ, සජීවී වරායක ධාරිතාව පුළුල් කිරීම, සැලකිය යුතු මෙහෙයුම් සහ තාක්ෂණික අභියෝග මධ්‍යයේ සිදු වන්නක් මෙන්ම ඒ සඳහා ප්‍රමාණවත් ආයෝජනද කළ යුතු වේ.
මේ සියල්ල වටහාගෙන HIPහි කළමණාකාරීත්වය, ඉංජිනේරු සහ මෙහෙයුම් කණ්ඩායම් සමග සමීපව කටයුතු කරමින්, ඉහළ යන ඉල්ලුම අනුව තම සේවාවන් සැපයීම සාර්ථකව කරගෙන යයි. ප්‍රධාන නැගෙනහිර-බටහිර නැව් මාර්ගයේ සිට නාවික සැතපුම් 10 ක් පමණක් දුරින් HIP හි උපායමාර්ගික පිහිටීමද, එහි සාර්ථකත්වයට හේතු වී ඇතැයි වරාය නිලධාරීන්ගේ විශ්වාසයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
