මහ බැංකුවේ 2025 ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්රණ මාලාව
ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේ දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 10 දක්වා දින තුන තුළ "සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය" යන තේමාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්රණ මාලාව - 2025 පවත්වන ලදී.
ආර්ථික පර්යේෂණ සහ අනුභාවික දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම පිළිබිඹු කෙරෙන පර්යේෂණ වැඩසටහන් තුනකින් මෙම සම්මන්ත්රණ මාලාව සමන්විත විය. එනම්,
i. ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වන ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය
ii. කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ දත්ත සමුදා සමුළුව- 2025
iii. ආසියානු සංවර්ධන බැංකුව සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ සහයෝගීතාවෙන් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සත්කාරකත්වය සපයනු ලබන 06 වැනි ඒකාබද්ධ වැඩමුළුව
මෙම පර්යේෂණ සම්මන්ත්රණ මාලාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව එහි ප්‍රමුඛතම පර්යේෂණ සම්මන්ත්‍රණය වන 14 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2025 වසරේ දෙසැම්බර් 8 වන දින පැවැත්වීය.
විවිධ කාලීන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ගැටලු පිළිබඳ නවතම න්‍යායාත්මක සහ ප්‍රායෝගික පර්යේෂණ දිරිමත් කිරීම මෙම සමුළුවේ අරමුණ විය. මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භක දේශනය පවත්වමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, භූ ආර්ථික විභේදනය, ශීඝ්‍රයෙන් විකාශනය වන වෙළඳ හා මූල්‍ය රටා සහ ආර්ථික අවදානම් වැඩි කරන දේශගුණික අවදානම් වැනි කුඩා විවෘත ආර්ථිකයන් මුහුණ දෙන බහුමාන අවදානම් පෙන්වා දුන්නේය. මෙම පසුබිම තුළ, පර්යේෂණ මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනයේ වැදගත්කම අධිපතිවරයා අවධාරණය කළේය.
ඉන්දීය සංචිත බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය මයිකල් ඩී. පට්රා මහතා ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීය. ‘නැගී එන ආර්ථිකයන්: ඉහළ අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම’ යන මාතෘකාව යටතේ සිදුකළ ඔහුගේ කතාවේ දී, භූ දේශපාලනික අවිනිශ්චිතතා, ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතා, සැපයුම් දාම පීඩන සහ අනෙකුත් ආර්ථිකයන් වෙතින් මූල්‍ය වෙළෙඳපළ හරහා එල්ලවන වක්රාකාර බලපෑම් වැනි ආර්ථික ස්ථාවරත්වයට තර්ජනයක් වන ගෝලීය ප්රවණතා පිළිබඳව සාකච්ඡා කළේය. නැගී එන ආර්ථිකයන් මෙම බලගතු අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙමින් ආර්ථිකයේ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රතිපත්ති රාමු වැඩිදියුණු කිරීම, ඵලදායිතාවයේ සහ වර්ධනයේ ප්‍රධාන බලවේග හඳුනා ගැනීම, ආර්ථික ස්වාරක්ෂක ශක්තිමත් කිරීම, පරිසරය හා සුසංයෝගීව කටයුතු කිරීම සහ නැගී එන තාක්ෂණයන් උපයෝගී කර ගැනීම සිදු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ සමාරම්භක සැසිවාරයෙන් පසුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනි නෙලුමනී දවුලගල මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික සැසි දෙකක් පැවැත්විණි. උද්ධමන පුරෝකථනය, ප්‍රාග්ධන ප්‍රවාහ, ණය සමුච්චිතවල හැසිරීම, මූල්‍ය අවදානම්, තිරසාර වර්ධනය, මූල්‍ය අන්තර්ගත බව සහ ඵලදායීතාව යන ක්ෂේත්රවලට අදාළව, සමුළුව සඳහා ඉදිරිපත් වුණු පර්යේෂණ පත්‍රිකා රැසක් අතරින් දැඩි ඇගයීම් ක්‍රියාවලියක් හරහා තෝරාගත් පර්යේෂණ පත්‍රිකා අටක් දේශීය හා ජාත්‍යන්තර පර්යේෂකයින් විසින් ඉදිරිපත් කරන ලදී. සමුළුවට සමගාමීව, මහ බැංකුව සිය ප්‍රධාන වාර්ෂික පර්යේෂණ සඟරාව වන මාණ්ඩලික පත්රිකාහි නවතම වෙළුම ප්‍රකාශයට පත් කළේය.
සම්මන්ත්රණ මාලාවේ දෙවන දිනයේ දී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ (SAARCFINANCE) දත්ත සමුදා සමුළුව - 2025 පවත්වන ලදී. යම් වසරක කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ සභාපතිත්වය දැරූ රට ඊළඟ වසරේ දී දත්ත සමුදා සමුළුව පැවැත්වීම එම ජාලයේ සම්ප්රදාය වේ. ඒ අනුව, 2025 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ දත්ත සමුදා සමුළුව පවත්වන ලදී. කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ මහ බැංකු නියෝජිතයින් මෙම සමුළුව සඳහා සහභාගී වූ අතර, ඇතැම් නියෝජිතයින් මංගත මාර්ග හරහා සම්බන්ධ විය.
සමුළුවෙහි සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වමින් ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ඉලක්ක ළඟා කර ගැනීම සඳහා දත්තවල පවතින මූලික වැදගත්කම සහ එහි ඵලදායී භාවිතය පිළිබඳව අවධාරණය කළේය. කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මහ බැංකුවල දත්ත මත පදනම් වූ ක්‍රියාවලීන්ට සහාය වීම සඳහා මෙම දත්ත සමුදාය වැදගත් පදනමක් ලෙස භාවිත කළ හැකි බවත්, එමගින් කලාපීය ස්ථාවරත්වය ශක්තිමත් කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම සම්මන්ත්‍රණයේ දී ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය සුජීතා ජෙගජීවන් මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ආචාර්ය විපුල වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික සැසි දෙකක් පැවැත්විණි. බංග්ලාදේශ මහ බැංකුව, භූතානයේ රාජකීය මූල්‍ය අධිකාරිය, ඉන්දියානු සංචිත බැංකුව, මාලදිවයිනේ මූල්‍ය අධිකාරිය, නේපාල මහ බැංකුව, පකිස්ථාන මහ බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතනවල නියෝජිතයින් විසින් හරවත් පත්‍රිකා හතක් මෙම සැසිවල දී ඉදිරිපත් කරන ලදී. කලාපය පුරා විදේශීය හා දේශීය වශයෙන් ඇතිවන අවහිරතා හේතුවෙන් නිර්මාණය වන සාර්ව ආර්ථික අස්ථාවරත්වයන් සඳහා පිළියම් යෙදීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික අත්දැකීම් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදන අරමුණු සඳහා නව ශිල්පීය ක්‍රම භාවිතා කිරීම පිළිබඳව මෙම පත්‍රිකා මගින් සාකච්ඡා කරන ලදී.
කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ දත්ත සමුදා සම්බන්ධීකරණ නියෝජිතයින්ගේ හමුවක් ද ප්‍රධාන සමුළුවට සමගාමීව පැවැත්විණි. දත්ත සමුදායට අදාළව මෑත කාලීන ප්රවණතා සහ ඉදිරි වසර සඳහා පෙර දැක්ම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
2025 වසරේ දෙසැම්බර් මස 10 වන දින පැවති, ශ්‍රී ලංකා මහ බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය විසින් පවත්වනු ලබන සය වැනි ඒකාබද්ධ වැඩමුළුව (CBSL-ADB-APAEA Joint Workshop) මෙම ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්රණ මාලාව යටතේ පැවති අවසාන වැඩසටහන විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා CBSL-ADB-APAEA ඒකාබද්ධ වැඩමුළුවේ සමාරම්භක දේශනය ඉදිරිපත් කරමින් ශීඝ්‍රයෙන් වෙනස් වන ගෝලීය ආර්ථිකය සහ තාක්ෂණික දියුණුව මධ්‍යයේ මහ බැංකු සිය විශ්ලේෂණ හැකියාවන් අඛණ්ඩව වැඩිදියුණු කළ යුතු බව මෙන්ම ආනුභවික දත්ත පදනම් කරගත් ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බව අවධාරණය කළේය. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන් සහ විද්වතුන් අතර ප්‍රතිපත්ති පර්යේෂණ ජාලයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද ඔහු තවදුරටත් පැහැදිලි කළේය. තවද, ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයෙහි නිර්මාතෘ සහ සභාපති මහාචාර්ය පරේෂ් කුමාර් නාරායන් මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය ජෝන් බියර්න් යන මහත්වරු ආයතන අතර පර්යේෂණ සහයෝගීතාවය අඛණ්ඩව පවත්වා ගැනීමේ වැදගත්කම සහ ප්‍රතිපත්ති සම්පාදනයේ දී පර්යේෂණවල තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළහ.
මෙම වැඩමුළුව තුළ දී ණය චක්‍ර, උද්ධමනය, ප්‍රාග්ධන ප්‍රවාහ, කෙටිකාලීන දත්ත මත පදනම් වූ ආර්ථික වර්ධනය පිළිබඳ පුරෝකථන (nowcasting), දේශගුණික කම්පන, රාජ්‍ය මූල්‍ය නීති සහ වත්කම් මිලකරණ ආකෘති වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකුවේ සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයෙහි කතුවරුන් විසින් පර්යේෂණ පත්‍රිකා අටක් ඉදිරිපත් කරන ලද තාක්ෂණික සැසි දෙකකින් සමන්විත විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ආචාර්ය ලසිත පත්බේරිය මහතා සහ ආචාර්ය ජෝන් බියර්න් මහතා විසින් මෙම සැසිවල මුලසුන හොබවන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

