මහජන බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME) නැවත නඟාසිටුවීම අරමුණු කරගනිමින් විශේෂ සහන පැකේජයක් හඳුන්වා දී තිබේ.
රු.මිලියන 5ට අඩු අක්රමික තත්ත්වයේ පවතින ණය සහිත ව්‍යාපාර කෙරෙහි එමඟින් අවධානය යොමු කරයි. මින් පෙර ලබාදුන් සහන වැඩසටහන් යටතේ ආමන්ත්‍රණය නොවුන නමුත්, මෑත කාලීන ආර්ථික අභියෝගයන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ව්‍යවසායන්ට සහන සැලසීම මෙම කාලෝචිත සහන පැකේජයේ ඉලක්කයයි.
මෙම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන අතර, දළ දේශීය නිෂ්පාදිතයෙන් 52% කට අධික දායකත්වයක් ලබාදේ. එමෙන්ම ශ්‍රම බලකායෙන් 45%කට ආසන්න ප්‍රමාණයක් මෙම ව්‍යාපාරයන්වල සේවයේ නියුක්ත වේ. ජාතික ආර්ථිකය තුළ මෙතරම් වැදගත් ස්ථානයක් හිමිව තිබුනද, මෑත කාලයේ දී වර්ධනය වෙමින් පවතින මෙහෙයුම් පිරිවැය ඉහළයාම, පාරිභෝගික ඉල්ලුම අඩුවීම සහ නිරන්තරයෙන් විචලනයට ලක්වන මූල්‍ය වටපිටාව වැනි දුෂ්කරතාවන්ට බොහෝ කුඩා ව්‍යාපාර මුහුණ දී සිටී. මෙවැනි ව්‍යවසායන් සඳහා ක්ෂණික සහාය ලබාදිමේ අරමුණින්, දැනට පවතින හිඟ ණය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම වෙනුවෙන් මෙම විශේෂ සහන පැකේජය සැලසුම් කර ඇත.
ගනුදෙනුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන, ප්‍රායෝගික සහ විශ්වසනීය ව්‍යාපාරික සැලසුම් පදනම්ව, ඔවුන්ගේ ශක්‍යතාවන්ට ගැලපෙන පරිදි සැකසූ සැලකිය යුතු සහනශීලී පොලී අනුපාතයන් සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ විසඳුම් මහජන බැංකුව විසින් තම ගනුදෙනුකරුවන්ට පිරිනැමේ. උපචිත පොලිය, කෙටි කාලීන සහනදායී ණය පොලී අනුපාත යටතේ නව ණයක් බවටද පරිවර්තනය කළ හැකිය. කොන්දේසි සහිතව වසර හතක් දක්වා දීර්ඝ කළ සහන කාල සීමාවන් සහ කාලසීමාව අවසානයේ එකවර ගෙවීම ඇතුළු නම්‍යශීලී ආපසු ගෙවීමේ හැකියාවක් මෙමගින් හිමි වේ. මෙහෙයුම් නැවත ආරම්භ කිරීම සඳහා අමතර ප්‍රාග්ධනයක් සොයන ව්‍යාපාර සඳහා රජයේ අනුග්‍රහය ලත් වැඩසටහන් හෝ මහජන බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රම හරහා අතිරේක මූල්‍ය අවශ්‍යතාවයන් සපුරා ගත හැක.
මෙම සහාය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් මෙසේය. ණය ගනුදෙනුකරුවන් සතු මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 5 නොඉක්ම වියයුතු අතර, 2019 අප්‍රේල් 1 වන දින හෝ ඊට පසු හිඟ ණය ලෙස වර්ගීකරණය කර තිබිය යුතුය. එමෙන්ම ප්‍රායෝගික හා ඵලදායී ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කළ යුතු වේ. මේ සඳහා ගනුදෙනුකරුවන්ගේ ඉල්ලිම් 2025 දෙසැම්බර් 31 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු අතර, වගකිය යුතු බැංකුවක් ලෙස මහජන බැංකුව, මෙම ප්රතිලාභ ලැබීමට සුදුසුකම් ඇති අයට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා එම ඉල්ලිම් නිවැරදිව හා සුපරීක්ෂාකාරී ලෙස ඇගයීමට ලක් කෙරේ.
දිවයින පුරා පිහිටි ඕනෑම මහජන බැංකු ශාඛාවක් හරහා ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි අතර, මහජන බැංකුවේ ව්‍යාපාර පුනර්ජීවන ඒකකය විසින් මෙය ක්‍රියාත්මක කරයි. ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නැවත නඟාසිටුවීම පමණක්ම නොව අක්‍රීය ණය හේතුවෙන් බැංකුව මුහුණ දෙන අවදානම අවම කිරීමද මෙහි අරමුණයි. එමෙන්ම නිසි අධික්ෂණයකින් යුතුව මූල්‍ය සහයෝගය පිරිනැමිමෙන් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට අභියෝග වලට මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ ආර්ථිකය යථා තත්ත්වයට තත්ත්වයට පත්කිරීම සඳහා පුළුල් දායකත්වයක් ලබාදීම මෙන්ම දිවයින පුරා සිටින කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම මහජන බැංකුවේ අපේක්ෂාවයි.