බ්‍රිතාන්‍යය සමග ව්‍යාපාර කටයුතු සඳහා වූ මණ්ඩලයට නව නිලධාරී මඬුල්ලක්
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම උදෙසා කැපවී සිටින සාමාජිකයින් සහ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන්, ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ බ්‍රිතාන්‍යය සමඟ ව්‍යාපාර කටයුතු සඳහා වූ මණ්ඩලයේ (Council for Business with Britain - CBB) 26 වැනි වාර්ෂික මහා සභා රැස්වීම කොළඹ, වෙස්ට්මිනිස්ටර් හවුස් හිදී උත්කර්ෂවත් ලෙස පවත්වා තිබේ.
මෙහිදී 2026 - 2027 වාරය සඳහා බ්‍රිතාන්‍යය සමඟ ව්‍යාපාර කටයුතු සඳහා වූ මණ්ඩලයේ නව සභාපතිනිය ලෙස ‘නෝෆොක් ෆුඩ්ස්’ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා අමීනා සියාඋද්දීන් මෙනෙවිය තේරී පත් වූවාය.
නව නිලධාරී මණ්ඩලය සහ කාරක සභාව
මණ්ඩලයේ සෙසු ප්‍රධාන නිලතල සඳහා පහත මහත්ම මහත්මීහු තේරීපත් වූහ.
- ජ්‍යෙෂ්ඨ උප සභාපති - ශිලුක ගුණවර්ධන මහතා - ප්‍රධාන සහ ගනුදෙනු උපදේශන ප්‍රධානී, KPMG ශ්‍රී ලංකා.
- උප සභාපති - ෆාදිල් ජිෆ්රි මහතා - ප්‍රධාන මූල්‍ය නිලධාරී, LSEG.
- භාණ්ඩාගාරික - ක්‍රිස්ටල් රෙයිඩ් විජේසූරිය මෙනෙවිය - ප්‍රධාන විධායක නිලධාරිනී, We Are Team Rocket.
හිටපු සභාපති, HSBC හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සර්ජනර් මහතා ඉදිරියටත් කාරක සභාව නියෝජනය කරනු ඇත.
2026 - 2027 වාරය සඳහා තේරී පත් වූ සෙසු කාරක සභා සාමාජික සමාගම් වන්නේ,
ඒට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස්, GTN ටෙක්නොලොජීස්, හේලීස් පීඑල්සී, හිල්ටන් කලම්බු රෙසිඩන්සීස්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, මාස් හෝල්ඩිංග්ස්, ඕෂන් පික්, පොයින්ට් ටු පොයින්ට් කන්සල්ටින්, යුනිලිවර් ශ්‍රී ලංකා, විල්ටන් මෙටල් බොක්ස්.
මීට අමතරව, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රධානී අසන්ති ප්‍රනාන්දු මෙනෙවිය, කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ විදුහල්පතිනි හැනා වෙල්ස් මහත්මිය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා අධ්යක්ෂ ඔර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් මහතා වෙතද කාරක සභාව සඳහා විශේෂ ආරාධිත සාමාජිකයින් ලෙස එක්වීමට ආරාධනා කර ඇත. සභාවේ ඉදිරි කටයුතු සඳහා උපායමාර්ගික මඟපෙන්වීම් ලබාදීමේ උපදේශක කාරක සභාව ලෙස ශිරේන්ද්‍ර ලෝරන්ස්, රොෂානි මොරෙයස් සහ ටානියා පොලොන්නොවිට යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ අදහස්,
මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා ද්විපාර්ශ්වික ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මණ්ඩලය දක්වන අඛණ්ඩ දායකත්වය අගය කළේය. ශ්‍රී ලාංකේය ව්‍යාපාර සතු නම්‍යශීලීභාවය සහ නවෝත්පාදන හැකියාව අගය කළ ඒ මහතා, ශ්‍රී ලංකාවට පැමිණෙන බ්‍රිතාන්‍ය සංචාරකයින්ගේ වර්ධනය සහ ගුවන් ගමන් සබඳතා පුළුල් වීම ද්විපාර්ශ්වික වාණිජ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත තීරුබදු රහිතව ප්‍රවේශ වීමට අවස්ථාව සලසන, ලොව වඩාත්ම ත්‍යාගශීලී වෙළෙඳ මනාප ක්‍රමවේදයක් වන ‘සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ සැලැස්ම’ (DCTS) පිළිබඳව මහ කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කළේය. 2026 ජනවාරි මාසයේදී හඳුන්වා දුන් නවතම ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රයට ඉහළ වෙළෙඳපොළ මනාපයක් සහ තරඟකාරීත්වයක් ලැබී ඇති බව පෙන්වා දුන් ඒ මහතා, මෙම අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන අපනයන විවිධාංගීකරණය කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
නික්ම යන සභාපතිගේ සහ නව සභාපතිනියගේ අදහස්,
මණ්ඩලයේ නික්ම යන සභාපති මාර්ක් සර්ජනර් මහතා සිය සමුගැනීමේ කතාවේදී ප්‍රකාශ කළේ, ගතවූ වසර තුළ DCTS සැලැස්මේ සහාය ඇතිව ද්විපාර්ශ්වික වෙළෙඳාම සැලකිය යුතු ලෙස වර්ධනය වූ බවයි. තමාගේ ධුර කාලය තුළ තරුණ වෘත්තිකයන්, ව්‍යවසායකයින් සහ අනාගත ව්‍යාපාරික නායකයින් වෙනුවෙන් කැපවූ විශේෂ 'Next Generation' සහ 'SME' වේදිකාවක් ස්ථාපිත කිරීමට හැකි වීම, ආර්ථික දැනුවත් කිරීම් සහ රාජ්‍ය-පෞද්ගලික අංශ ඒකාබද්ධ කල ජාලකරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට හැකිවීම ප්‍රධාන ජයග්‍රහණ ලෙස ඔහු සිහිපත් කළේය.
සිය සමාරම්භක දේශනය පවත්වමින් නව සභාපතිනි අමීනා සියාඋද්දීන් මෙනෙවිය කියා සිටියේ, ව්‍යාපාරික සහයෝගීතාව සඳහා වන මෙම සන්නාමය තවදුරටත් ශක්තිමත් කිරීමට තමා කැපවන බවයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික මණ්ඩලයක් යටතේ ප්‍රථම වරට ආරම්භ කරන ලද ‘NextGen’ කාරක සභාවේ සාර්ථකත්වය අගය කළ ඇය, එමඟින් තරුණ වෘත්තිකයන්ට සහ ව්‍යවසායකයින්ට ව්‍යාපාරික ප්‍රජාව සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වීමට සහ අනාගත ව්‍යාපාරික නායකයින් බිහි කිරීමට ලැබී ඇති අවස්ථාව අතිශය වැදගත් බව අවධාරණය කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
