පොදු ප්‍රවාහනයේ ඩිජිටල් ගෙවීම් පහසුවට කොමර්ෂල් බැංකුව NCG Express එක්වේ
ශ්‍රී ලංකාවේ පොදු මගී ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමට රජය ගන්නා උත්සාහයට සහාය ලබාදීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, NCG Express සමඟ එක්වී සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ බස් ටිකට්පත් ලබාගැනීමේ පහසුකම හඳුන්වා දී තිබේ.
ඒ හරහා මගීන්ට බැංකු කාඩ්පත්වලින්, QR කේත මගින් මෙන්ම Contactless තාක්ෂණය භාවිතයෙන් බස් ගාස්තු ගෙවීම සිදු කිරීමට හැකියාව ලැබේ.
මෙම සහයෝගීතාවය රජයේ ඩිජිටල් ටිකට්පත් හඳුන්වා දීමේ මුලපිරීමට සහාය දක්වන අතර ම, ශ්‍රී ලංකාවේ පුද්ගලික මගී ප්‍රවාහන අංශය තුළ ඩිජිටල් ගාස්තු ගෙවීම ප්‍රචලිත කිරීමට දරණ මහා පරිමාණ ප්රයත්නයක්ද සනිටුහන් කරයි. බැංකු ජාලය හරහා ආරක්ෂිතව ගෙවීම් ලබාගැනීම හා ස්වයංක්‍රීයව ගෙවීම් පියවීමේ කටයුතු සමඟ ටිකට්පත් නිකුත් කරන උපාංග ඒකාබද්ධ කිරීම මගින් කාසි හා නෝට්ටු මත යැපීම අඩු කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ ගාස්තු එකතු කිරීමේ කාර්යයයේ විනිවිදභාවය වැඩි කිරීම, මෙම මුලපිරීමේ අරමුණ වී ඇත.
මෙම හවුල්කාරීත්වය යටතේ NCG Express හි බස් රථවල කොන්දොස්තරවරුන්ට කොමර්ෂල් බැංකුවේ ගෙවීම් ලබාගැනීමේ විසඳුම් සමඟ ඒකාබද්ධ වූ ඩිජිටල් ටිකට්පත් නිකුත් කිරීමේ උපාංග ලබාදෙනු ලැබේ. මගියෙකු බස් රථයට ගොඩ වූ විට කොන්දොස්තර මහතා විසින් අදාල ගාස්තුව උපාංගයට ඇතුලත් කරන අතර ඉන් පසුව මගියාට එම උපාංගයෙන් ලබා දෙන QR කේතය ස්කෑන් කර හර හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් හෝ ගූගල් පේ වැනි ජංගම මුදල් පසුම්බියක් හරහා අදාල ගෙවීම සිදුකළ හැක. මෙම ගනුදෙනු සියල්ල ආරක්ෂිතව ක්ෂණිකව සකසන අතර ක්ෂණික තහවුරු කිරීමක් මඟින් බාධාවකින් තොරව එවෙලේම ගාස්තු එකතු කිරීම සහතික කරයි.
මගීන් සඳහා මෙම ඩිජිටල් ටිකට්පත් පද්ධතිය මගින් මුදල් රහිත ගෙවීම්වල පහසුව, නියමිත මාරු කාසි සමඟ මුදල් නෝට්ටු රැගෙන යාමේ අවශ්‍යතාවය ඉවත් කිරීම සහ වේගවත් වූ Contactless ගනුදෙනු කිරීමේ හැකියාව ඇතුළු බහුවිධ වාසි රැසක් ලබා දෙයි. විනිවිද පෙනෙන ඩිජිටල් වාර්තා, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වූ සුමට හා නවීන ගමනාගමන අත්දැකීමක් ලබාදෙන අතර ම ප්‍රවේශපත්‍ර ක්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය වැඩි කිරීමට ද මෙම මුලපිරීම උපකාරී වනු ඇත.
මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සහකාර සමාන්‍යාධිකාරී -පුද්ගලික බැංකුකරණය/පාරිභෝගික නිෂ්පාදන සංවර්ධනය කපිල ලියනගේ මහතා පැවසුවේ, “ඩිජිටල් ගෙවීම් නව්‍යෝත්පාදනයන් ඉදිරියට ගෙනයාමට මෙන් ම ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල්කරණ න්‍යාය පත්‍රයට සාහය දැක්වීමට, කොමර්ෂල් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම මෙම හවුල්කාරීතවයෙන් පිළිබිඹු කරනවා. මෙරට ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව ලෙස පොදු ප්‍රවාහන අංශයේ සේවක පිරිසට වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වීමට හැකි වන පරිදි මෙම ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම, ඉතා තීරණාත්මක පියවරක් ලෙස බැංකුව සලකනවා.” යනුවෙනි.
මෙසේ තෝරාගත් NCG Express බස් රථවල මෙම ඩිජිටල් විසදුම ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර වැඩසටහනේ කොටසක් ලෙස ඔවුන්ගේ සම්පූර්ණ බස් රථ පෙළ හරහා පද්ධතිය ක්‍රමානුකූලව පුළුල් කිරීමට සැලසුම් කර ඇත. NCG Express හි සභාපති නිකිත ග්‍රේරෝ මහතා පැවසුවේ, “ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රය පරිවර්තනය කිරීමට අප සිදු කරන කැපවීමට සමගාමීව, අපගේ මගීන්ට පහසුවෙන් හා බාධාවකින් තොරව ඩිජිටල් ගෙවීම් සිදු කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙම සහයෝගීතාවය හුදෙක් පහසුව ලබා දීමෙන් ඔබ්බට ගොස්, ආරක්ෂිත හා ඒකාබද්ධ වූ ඩිජිටල් විසදුමක් හරහා ශ්‍රී ලංකාවේ ගමනාගමන යටිතල පහසුකම්වල ප්‍රමිතිය වැඩි කරනවා. NCG Express සමඟ සෑම ගමනක් ම කරදරයකින් තොරව සුවපහසුවෙන් ගමන් කළ හැකි බවට තහවුරු කරමින් මෙම ඩිජිටල් ක්‍රමවේදයට සහය දැක්වීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. අනාගතයේදී ප්‍රවාහන කර්මාන්තය පුරා පුළුල් සහයෝගීතාවයක් ඇති කර ගනිමින් දිවයින පුරා ම බාධාවකින් තොරව පහසුවෙන් ගමන් බිමන් යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
