පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය වේගවත් කරන ප්‍රමුඛතා මොනවාද?
ශ්‍රී ලංකාව වඩාත් සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසාර බලශක්ති පද්ධතියක් වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති, ආයෝජන සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "Energy Transition in Sri Lanka : Strategic Insights from Global Markets" නමැති සංවාදය පසුගියදා පැවැත්විණි. මෙම හමුව සඳහා රජය, කර්මාන්ත, අධ්‍යයන ක්ෂේත්රය සහ බලශක්ති අංශය නියෝජනය කරමින් පාර්ශ්වකරුවන් රැසක් එක්ව සිටියහ.
ආනයනික පොසිල ඉන්ධන මත රඳා පැවැත්ම අඩු කරමින්, ශ්‍රී ලංකාවේ ඉහළ යන විදුලි ඉල්ලුම සපරා ගැනීම උදෙසා පුනර්ජනනීය බලශක්තියේ වර්ධනය වන භූමිකාව පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය. එහිදී සූර්ය බලශක්තිය ව්‍යාප්ත කිරීම ප්‍රමුඛතා ක්ෂේත්රයක් ලෙස හඳුනා ගැනුණු අතර, පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම, ජාතික විදුලි බල පද්ධතියේ ස්ථායීතාව ශක්තිමත් කිරීම සහ සම්ප්‍රේෂණ හානි අවම කිරීම සඳහා මිලදී ගැනීමේ ගාස්තු, ප්‍රසම්පාදන යාන්ත්‍රණයන් සහ විමධ්‍යගත පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේ ඇති වැදගත්කම සහභාගී වූවන් විසින් පෙන්වා දෙන ලදී.
එමෙන්ම ප්‍රතිපත්තිමය අස්ථාවරත්වය, දීර්ඝ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලීන්, ඉඩම් අත්පත් කර ගැනීමේ අභියෝග, විදුලි බල පද්ධතියේ පවතින සීමාවන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් ඇතුළු පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තිය මන්දගාමී කරන බාධක පිළිබඳවද පාර්ශ්වකරුවන් පරීක්ෂා කර බලන ලදී. ආයෝජක විශ්වාසය තහවුරු කිරීමට සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා ස්ථාවර හා පූර්ව නිගමනය කළ හැකි ප්‍රතිපත්තිමය පරිසරයක්, විධිමත් කළ නියාමන ක්‍රියාවලියක් සහ ශක්තිමත් ආයතනික සම්බන්ධීකරණයක් අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරිණි.
අනාගත ආයෝජන සඳහා උපකාරී වන ප්‍රසම්පාදන රාමූන්, මූල්‍යකරණ යාන්ත්‍රණයන් සහ විදුලි බල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණවල භූමිකාව පිළිබඳවද මෙහිදී විමසා බැලූ අතර, ජාලගත මැනුම් සහ ගෙවීම් ක්‍රමවේද මගින් අතිරික්ත විදුලිය නැවත ජාතික පද්ධතියට අලෙවි කිරීමට අවස්ථාව සැලසීම හරහා වාණිජ සහ කාර්මික පාරිභෝගිකයින් සූර්ය බලශක්තිය වෙත යොමු කිරීමට දිරිගැන්වෙන බව පිළිගැනිණි. මීට අමතරව, මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම, වඩාත් විශ්වාසදායක ව්‍යාපෘති ව්‍යුහයන් සකස් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින් වෙත කාලෝචිත ලෙස ගෙවීම් සිදු කිරීම ඇතුළු මූල්‍ය තිරසාරභාවය පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීමේ වැදගත්කමද අවධාරණය කෙරිණි.
බලශක්ති ගබඩා කිරීමේ පද්ධති සාකච්ඡාවේ තවත් ප්‍රධාන මාතෘකාවක් වූ අතර, පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් පද්ධතියට එකතු කර ගැනීමට සහාය වීම, ජාල ස්ථායීතාව ඉහළ නැංවීම සහ පද්ධතියේ නම්‍යශීලීභාවය වැඩිදියුණු කිරීම සඳහා ඒවායේ ඇති වැදගත්කම පෙන්වා දෙන ලදී. ශ්‍රී ලංකාව තුළ බලශක්ති ගබඩා තාක්ෂණයන් භාවිතයට ගැනීම සඳහා පැහැදිලි තාක්ෂණික ප්රමිතීන්, ආරක්ෂණ රාමූන්, මූල්‍යකරණ යාන්ත්‍රණයන් සහ වෙළඳපොළ ව්‍යුහයන්ගේ අවශ්‍යතාව මෙන්ම, සූර්ය බලශක්තිය සහ ගබඩා පද්ධති එකට ඒකාබද්ධ කිරීමේ (solar-plus-storage) ගෝලීය අත්දැකීම්ද මෙහිදී විමර්ශනයට ලක් විය.
ඩිජිටල්කරණය, කෘත්‍රිම බුද්ධිය (AI), විදුලි වාහන (EVs) සහ දත්ත මධ්‍යස්ථාන (Data Centers) සමඟ විදුලි ඉල්ලුම තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, දිගුකාලීන ආර්ථික තරගකාරිත්වයට සහාය වීම පිණිස බුද්ධිමත් විදුලි ජාල (Intelligent Grids) සහ නැගී එන තාක්ෂණයන් හරහා රටේ බලශක්ති යටිතල පහසුකම් නූතනකරණය කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දෙන ලදී.
මිනිස් බල සම්පත සංවර්ධනය කිරීම තවත් වැදගත් තේමාවක් වූ අතර, කර්මාන්ත ක්ෂේත්රය සහ අධ්‍යයන ක්ෂේත්රය අතර සමීප සබඳතාවක් පැවැත්වීම, තාක්ෂණික පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ මෙම ක්ෂේත්රයේ තිරසාර වර්ධනය උදෙසා පුනර්ජනනීය බලශක්ති හා බලශක්ති ගබඩා තාක්ෂණයන් පිළිබඳ දේශීය ප්‍රවීණතාව ශක්තිමත් කරන ලෙසද පාර්ශ්වකරුවන් ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රතිපත්ති, නියාමන, මූල්‍යකරණ සහ යටිතල පහසුකම් සංවර්ධනය යන සියලුම ක්ෂේත්රයන් හි සම්බන්ධීකරණයෙන් යුත් ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වන බව අවධාරණය කරමින් මෙම සංවාදය නිමාවට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
