විශේෂ අංක තහඩු ලබාගැනීමේදී සියලුම මෝටර් රථවලට එකම මුදලක් කාණ්ඩ වශයෙන් අය කිරීම අසාධාරණ බවත්, ඒ නිසා ත්‍රී රෝද රථ හා යතුරු පැදි සඳහා විශේෂ අංක තහඩු ලබාගැනීමේදී දැනට තිබෙන ගාස්තු අඩු කිරීමටත් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කටයුතු කරමින් සිටියි.
මෝටර් වාහන පනතේ 21, 22, 23, 24 සහ 24 අ වගන්ති සමග කියවිය යුතු, එම පනෙත් 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 ඔක්තෝබර් 24 දිනැති අංක 1833/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ 2014.02.19 දින ඉදිරිපත් කරන ලද නියෝග ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අනුමත කරගැනීම සඳහා ඊයේ (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම නියෝග ඉදිරිපත් කරමින් ත්‍රී රෝද රථ හා යතුරු පැදි සඳහා විශේෂ අංක තහඩු ලබාගැනීමේදී දැනට තිබෙන ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රථවාහන ලියාපදිංචි කිරීමේදී විශේෂ අංකයක් ලබාගැනීමට අය කරන මුදල වාහන මට්ටමින් සංශෝධනය කිරීම මෙම නියෝගයේ අරමුණ වන බවත් දැනට ඇති නියෝග අනුව සියලුම මෝටර් රථවලට එකම මුදලක් කාණ්ඩ වශයෙන් අය කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එම නිසා ත්‍රී රෝද රථ සහ යතුරු පැදි සඳහා අසාධාරණයක් සිදුව තිබෙන බව පෙන්වා දුන්නේය.
විශේෂ අංකයක් ලබාගැනීම සඳහා බස්, ලොරි, කාර්, ජීප්, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා ඉදිරියට ඇති අංක මිලදී ගැනීමේදී මෙතෙක් අය කෙරුණේ අංක 1 සිට 10,000 දක්වා අංක අතුරින් රු.50,000/- ක්, අංක 1 සිට 20,000 දක්වා අංක අතුරින් රු.60,000/- ක්, අංක 1 සිට 30,000 දක්වා අංක අතුරින් රු.70,000/- කුත් වශයෙනි.
ත්‍රිරෝද රථ හා යතුරුපැදි සඳහා මෙසේ අයකිරීම සාධාරණ නොවන නිසා එම වර්ගයේ රථ සඳහා අංක මිලදී ගැනීමේදී 1 සිට 10,000 දක්වා අංක රු.6,000/- කටත්, 1 සිට 20,000 දක්වා රු.8,000/- කටත්, 1 සිට 30,000 දක්වා රු.10,000/- කටත් මිලදී ගත හැකි පරිදි මිල ගණන් අඩුකිරීමට මේ නියෝග අනුමත කිරීම මගින් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.