ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව මෙරට මහ බැංකුට එයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර, එනම් 2026 පෙබරවාරි 17වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචාරයක නිරත වූවාය.
ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්යන්ත්ර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම මෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ 75වන සංවත්සරයට සමගාමීව මෙම සංචාරය සිදු විය. මහ බැංකු පරිශ්‍රයේ පැවති හමුවක දී ආචාර්ය ජෝර්ජීවා මහත්මිය, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වූවාය.
වත්මන් විස්තීර්ණ ණය පහසුකම යටතේ ලබාදුන් අඛණ්ඩ සහයෝගය සහ පෙර නොවූ විරූ අන්දමේ ආර්ථික දුෂ්කරතාවයෙන් රට යථා තත්ත්වයට පත්කර ගැනීමට සහාය වෙමින්, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කරගැනීම සඳහා ක්‍රියාකාරීව පහසුකම් සැලසීම වෙනුවෙන් කළමනාකාර අධ්‍යක්ෂිකාවට සහ ඇයගේ කණ්ඩායමට මෙම හමුවේදී අධිපතිවරයා සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය.
එමෙන්ම, මුදල් ප්‍රතිපත්ති සහ ආකෘතිකරණය, සාර්ව විචක්ෂණ විශ්ලේෂණ සහ මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති ඇතුළු බහුවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලබාදුන් පුළුල් තාක්ෂණික සහාය වෙනුවෙන් ආචාර්ය වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතද සිය ස්තූතිය පුද කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්යසාධනය සාර්ථක අත්දැකීමක් බවට ආචාර්ය ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කළාය. ආර්ථික අර්බුදයෙන් පසුව මෙරට සාර්ව ආර්ථික ස්ථායීතාව ප්‍රකෘතිමත් කිරීම සඳහා මහ බැංකුව ඉටුකළ කාර්යභාරයද කළමනාකාර අධ්යක්ෂිකාවගේ ඇගයීමට ලක්විය. මෑත වසරවලදී ශ්‍රී ලංකාව මුහුණදුන් පසුබෑම් පිළිබඳව සඳහන් කරමින්, අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇති බවට ඇය විශ්වාසය පළ කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
