කොළඹ කොටස් වෙළෙඳපොළ 13 වැනි ශාඛාව ගම්පහ විවෘත වේ
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින්, එහි 13 වැනි ප්‍රාදේශීය ශාඛාව පසුගිය ජුනි 23දා ගම්පහ නගරයේදී නිල වශයෙන් විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ශාඛා පිහිටුවීමේ පළමු අදියර සාර්ථකව නිම කිරීමෙන් පසු, දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කිරීමේ දෙවැනි උපායමාර්ගික අදියර යටතේ බස්නාහිර පළාතේ පිහිට වූ තෙවැනි ශාඛාව මෙයයි.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර, කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්යක්ෂ සුජීව පීරිස් සහ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, රාජ්‍ය සහ ආයතනික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි. මෙම නව ශාඛාව හරහා මාතර, මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, මඩකලපුව, අනුරාධපුරය, රත්නපුරය, පානදුර, බණ්ඩාරවෙල, කෑගල්ල සහ ගාල්ල යන නගරවල දැනට පවතින ශාඛා ජාලයට ගම්පහද එක්වෙයි.
ගම්පහ නව ශාඛාව මඟින් ප්‍රදේශයේ ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට සේවා රැසක් සලසා දීමට කටයුතු යොදා ඇත. ඒවා නම්,
- මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) - නව ගිණුම් විවෘත කිරීමේ පහසුකම්,
- කොටස් තැරැව්කාර සේවා - ප්රමුඛ පෙළේ කොටස් තැරැව්කාර සමාගම් 8ක සේවා සෘජුවම ලබාගැනීමේ අවස්ථාව,
- මූල්‍ය සාක්ෂරතාව - අනාගත ආයෝජකයන් උදෙසා නොමිලේ පැවැත්වෙන අධ්‍යාපනික වැඩමුළු සහ සම්මන්ත්රණ,
- ප්‍රාග්ධන සම්පාදනය - ප්‍රදේශයේ ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරවලට කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත වීමේ විවිධ විකල්ප හරහා ප්රාග්ධනය රැස්කර ගැනීමට මඟපෙන්වීම් ආදියයි.
ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22ක් පමණ වුවද, ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ සක්‍රීයව දායක වන්නේ මිලියනයකටත් අඩු පිරිසකි. මෙම පසුබිම තුළ කොළඹින් බැහැරව මෙවැනි වාණිජ කේන්ද්‍රස්ථාන කරා කොටස් වෙළෙඳපොළ ව්‍යාප්ත කිරීම හුදෙක් සේවාවක් සැපයීමක් නොව, ජාතික ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනසකට කෙරෙන ආයෝජනයකි. ගම්පහ දිස්ත්‍රික්කය යනු මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) මෙන්ම මහා පරිමාණ කර්මාන්ත ශාලා බහුලවම සාන්ද්‍රණය වී ඇති කලාපයකි. කොටස් වෙළෙඳපොළෙහි පවතින 'Empower Board' වැනි විශේෂිත වේදිකාවන් හරහා බැංකු ණය මතම යැපෙන්නේ නැතුව, ව්‍යාපාර වර්ධනය සඳහා සාධාරණ පිරිවැයකින් ප්රාග්ධනය සොයා ගැනීමට ගම්පහ ව්‍යවසායකයන්ට මෙයින් ස්වර්ණමය අවස්ථාවක් උදාවේ.
2021 අංක 19 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 3 වැනි වගන්තිය ප්‍රකාරව, වෙළෙඳපොළක් නිර්මාණය කිරීම පමණක් නොව එය සාධාරණ, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාම එම කොමිෂන් සභාවෙහි වගකීමකි. කොටස් වෙළෙඳපොළ ගම්පහ වැනි ප්‍රදේශවලට පුළුල් කිරීමත් සමග ග්‍රාමීය ආයෝජකයන් වංචනික මූල්‍ය යෝජනා ක්‍රමවලට හසුවීම වැළැක්වීමේ පවුරක්ද ගොඩනැඟේ. තැරැව්කාර සමාගම් ආයෝජන ප්‍රවර්ධනය කරන අතරතුර, ආයෝජකයාගේ ආරක්ෂාව සහතික කිරීම හරහා වෙළෙඳපොළ කෙරෙහි ඇති විශ්වාසය (Investor Confidence) දිගුකාලීනව තහවුරු වනු ඇත.
මෙහිදී, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා අදහස් දක්වමින්, "ගම්පහ ව්‍යාපාරවලට ප්‍රාග්ධන වෙළෙඳපොළ උපයෝගී කරගනිමින් ව්‍යාප්ත වීමට විශාල විභවයක් තිබෙනවා. අපගේ 'Empower Board' වේදිකාව හරහා ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාරයේ සැබෑ වටිනාකම මතුකර ගැනීමටත්, ආර්ථිකය තුළ ධනය උත්පාදනය කිරීමටත් පුළුවන්. අපි මේ විවෘත කළේ ව්‍යවසායකයන්ට වගේම ආයෝජකයන්ටත් කොටස් වෙළෙඳපොළේ දොරටුයි" යනුවෙන් පවසා සිටියේය.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා අදහස් දක්වමින්, "ප්රාග්ධනය රැස් කිරීම සමාගම්වල වර්ධනයට මෙන්ම රටේ ආර්ථික සංවර්ධනයට අත්‍යවශ්‍යයි. ආයෝජක පදනම පුළුල් කිරීමට නම් අප රට පුරා සිටින ජනතාව වෙත ගොස් ආයෝජන අවස්ථා පිළිබඳ දැනුවත්භාවය ඇති කළ යුතුයි. කොටස් වෙළෙඳපොළ ගම්පහට පැමිණීම, පුළුල් මහජන සහභාගිත්වයක් ඇති කිරීම සඳහා තැබූ ඉතා වැදගත් පියවරක්" යැයි පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

