කොළඹ ඉඩම් මිල තවත් ඉහළට
කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, ඉහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී සියයට 10.6කින් වර්ධනය වී තිබේ.
මෙම වර්ධනය, ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක වන නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහිම පිළිබිඹු වූ අතර, ඒවා පිළිවෙළින් සියයට 12.4ක, 11.3ක සහ 8.0ක වාර්ෂික ඉහළයෑම් වාර්තා කළේය. මේ අතර, 2025 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී, ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අර්ධ වාර්ෂික පදනම අනුව මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. මෙහිදී, වාණිජ සහ නේවාසික අනු දර්ශක ඉහළ වර්ධන වේගයන් පෙන්නුම් කළේය.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් අර්ධ වාර්ෂිකව එක්රැස් කරගනු ලබන හිස් ඉඩම් පර්චසයක් සඳහා වන මිල ගණන් මේ සඳහා භාවිතා කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් ආවරණය වන පරිදි 1998 - 2008 දක්වා වාර්ෂිකවද, 2009 සිට 2017 දක්වා අර්ධ වාර්ෂිකව ද ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරන ලදී. ඉන්පසු 2017 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ම ඇතුලත් වන පරිදි මෙම දර්ශකයේ භූගෝලීය ආවරණය පුළුල් කර, පදනම් වර්ෂය2017 පළමු භාගය ලෙස සංශෝධනය කරන ලදී. මෙම ඉඩම් මිල දර්ශකය 2020 වසරේ සිට ඉඩම් තක්සේරු දර්ශකය ලෙස ප්‍රතිනාමකරණය කරනලද අතර, එය අර්ධ වාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරේ.
ඉඩම් භාවිතය සම්බන්ධයෙන් පවත්නා විවිධත්වය සහ සමජාතීත්වය පවත්වා ගැනීමේ අවශ්‍යතාව යන කරුණු සැලකිල්ලට ගනිමින්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඒ ඒ ප්‍රදේශයේ එක් එක් කාණ්ඩයට අයත් ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල උපයෝගී කර ගනිමින් නේවාසික, වාණිජ හා කාර්මික ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක් ගණනය කරනු ලැබේ. එම අනු දර්ශක තුනෙහි සාමාන්‍යය ඇසුරෙන් ඉඩම් තක්සේරුදර්ශකය ගණනය කරනු ලැබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
