ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයෙහි ඔසවා තැබූ රන් පදක්කම්ලාභී ධාවන ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරියක් ලෙස පත්කර තිබේ.
කොමර්ෂල් බැංකුවේ වඩාත්ම ජනප්‍රිය හා පහසුම ඩිජිටල් බැංකුකරණ විසඳුම වන කොම්බෑන්ක් ඩිජිටල් යෙදවුම තරුෂි කරුණාරත්න විසින් නියෝජනය කරනු ඇත. ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී මූල්‍ය ආයතනය ලෙස කොමර්ෂල් බැංකුවේ අනන්‍යතාවට පරිපූර්ණ ලෙස ගැලපෙන නොනවතින උත්සාහය, හැකියාව සහ වර්ධනය සඳහා නොසැලෙන කැපවීමක් තරුෂි කරුණාරත්න විසින් පිළිබිඹු කරන බව බැංකුව පවසයි.
“ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ විශ්වාසදායක ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා. ක්‍රීඩා පිටියේ මා මගේ දක්ෂතා, කැපවීමෙන් ඉදිරියට ගෙනයන සේම, කොමර්ෂල් බැංකුවද විශිෂ්ටත්වය හා නවෝත්පාදනය කෙරෙහි කැපවී සිටිනවා. කාර්යසාධනය සහ අඛණ්ඩ වර්ධනය සඳහා වන මගේ අරමුණු බෙදා ගැනීමට හැකි සන්නාමයක් නියෝජනය කිරීමට ලැබීම මා ලද වරප්‍රසාදයක්” යැයි කොමර්ෂල් බැංකුවේ නව සන්නාම තානාපතිනිය වශයෙන් පත්වීම පිළිබඳව අදහස් දක්වමින් තරුෂි කරුණාරත්න පැවසුවාය.
පසුගිය වසරේදී බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ වේග පන්දු යවන්නෙකු වන මතීෂ පතිරණ සන්නාම තානාපතිවරයෙකු ලෙස සාර්ථකව සම්බන්ධ කර ගන්නා ලද අතර, මෙම සහයෝගීතාව පාරිභෝගික පක්ෂපාතීත්වය ශක්තිමත් කිරීමට මෙන්ම, රටේ විශාලතම ඩෙබිට් කාඩ්පත් පදනම වන කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ්පත් වඩාත් පුළුල් ලෙස භාවිත කිරීමටද උපකාරී වී තිබේ.
තරුෂි කරුණාරත්න, ශ්‍රී ලංකාවේ වඩාත්ම දක්ෂ මැදි දුර ධාවන ශූරිය වන අතර, ඇය මීටර් 800 ඉසව්වේ අති දක්ෂයෙකි. ඇය වයස අවුරුදු 19 දී 2022 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 අවසන් තරඟයේදී රන් පදක්කමක් දිනා ගනිමින් ඉතිහාසයට එක් වූ අතර, සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශාගෙන් පසුව ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගත් පළමු වැනි ශ්‍රී ලාංකිකයා බවටද පත්විය. 2023 දී ඇය බැංකොක් හි පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 කාන්තා රන් පදක්කම දිනාගත් අතර, ඒ සමග එම ඉසව්වේ වසර 25ක් පැරණි ආසියානු වාර්තාවක්ද බිඳ දමමින් තවත් කීර්තියක් අත්කර ගත්තාය.