ආ දිනයේ සිටම ඇමෙරිකාවේ ළැදියාවන් ඉදිරියට ගෙනයෑම මගේ අවධානය වුණා
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චංග් මහත්මිය, කොළඹ, එක්සත් ජනපදය නියෝජනය කරන ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය ලෙස සිය වසර හතරකට ආසන්න කීර්තිමත් සේවා කාලය නිමා කරමින් ජනවාරි 16 වැනි දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යනු ඇති බව එම තානාපති කාර්යාලය නිවේදනය කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නෙ මෙසේය.
"මම ශ්‍රී ලංකාවේ ගත කළ සෑම මොහොතක්ම ආදරයෙන් වැළඳ ගත්තා" චංග් තානාපතිනිය පැවසුවාය. "පළමු දිනයේ සිටම, මගේ අවධානය යොමු වී තිබුණේ ඇමෙරිකාවේ ළැදියාවන් ඉදිරියට ගෙනයාම සඳහායි. එනම් අප දෙරටම ශක්තිමත් කරන ආරක්ෂක හවුල්කාරිත්වයන් සවිමත් කිරීම, වෙළෙඳාම සහ ආයෝජන පුළුල් කිරීම සහ අධ්‍යාපනය සහ ප්රජාතන්ත්රවාදී අගයන් ප්‍රවර්ධනය කිරීම සඳහායි. එකට එක්ව, අපි ඇමෙරිකානු ජනතාවට ප්‍රතිඵල ලබාදෙන, නිදහස්, විවෘත සහ ආරක්ෂිත ඉන්දු-පැසිෆික් කලාපයකට සහාය වන සම්බන්ධතාවක් ගොඩනඟා තිබෙනවා."
2022 වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ වූ චංග් තානාපතිනියගේ ධුර කාලය වැදගත් සන්ධිස්ථාන කිහිපයකින් සමන්විත විය. 2023 වසරෙහි පැවති ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි 75 වන සංවත්සරය, 2024 වසරෙහිදී එක්සත් ජනපද පීස්කෝර් ස්වේච්ඡා සේවකයන්ගේ නැවත පැමිණීම සහ ෆුල්බ්රයිට් වැඩසටහනේ 80 වන සංවත්සරය මේ අතරට ඇතුළත් වේ.
2022 වසරේ ඔක්තෝබර් මාසයේදී තානාපති කාර්යාලය LEED රන් සහතිකලත් නව පරිශ්‍රයක් වෙත ගෙනයාමද ඇය අධීක්ෂණය කළාය. එය ශ්‍රී ලංකාව තුළ තිරසාර, ආරක්ෂිත සහ දිගුකාලීන පැවැත්මක් පවත්වා ගෙන යාම සඳහා ඇමෙරිකාවේ ඇති කැපවීම පිළිබිඹු කරන සන්ධිස්ථානයක් වන අතර, ඉන්දු-පැසිෆික් කලාපයේ අනාගතය සඳහා අවැසි නවීන හවුල්කාරිත්වයක් ගොඩනැගීම සඳහා වන එක්සත් ජනපදයේ ඇති අවධානය අවධාරණය කරයි.
චංග්තා නාපතිනියගේ නායකත්වය යටතේ, එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කර ගැනීමට සහාය වීම සඳහා මුලපිරීම් රැසක් ක්‍රියාවට නැංවීය. IMF විස්තීර්ණ අරමුදල් පහසුකම සඳහා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දීම, ආහාර සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් බහුවිධ පැකේජයන් සහ මෑතකදී2025 දෙසැම්බර් මාසයේදී, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට කාලෝචිත මානුෂීය සහාය ලබා දෙමින්ආපදා ප්‍රතිචාරයන්ට සහාය දැක්වීමද මෙයට ඇතුළත් විය.
2022 වසරේ සිට, ඉන්දු-පැසිෆික් කලාපය පුරා නිදහස, සමෘද්ධිය සහ ආරක්ෂාව සඳහා සහාය දැක්වීමට ශ්‍රී ලාංකේය හවුල්කරුවන් සම්බන්ධ ගනිමින් තානාපතිනිය සිය නායකත්වය ලබා දුන්නා ය. ඇයගේ ධුර කාලය තුළ, තානාපති කාර්යාලය CARAT, ATLAS ANGEL සහ Pacific Angel වැනි කලාපීය ආරක්ෂක සහ ආපදා ප්‍රතිචාර අභ්‍යාස හරහා එක්සත් ජනපද ආරක්ෂක සහයෝගිතාව පුළුල් කළ අතර, මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක්ද ඇති කර ගනු ලැබිණි. ශ්‍රී ලංකාවට එහි සුවිසල් සමුද්‍රීය වසම ආරක්ෂා කර ගැනීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා බීච්ක්‍රාෆ්ට් කිං එයාර් ගුවන් යානයක් (Beechcraft King Air aircraft) සහ එක්සත් ජනපදයට අයත්ව තිබූ වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් (former U.S. Coast Guard vessels) ඇතුළුව තීරණාත්මක සමුද්‍ර ආරක්ෂක වත්කම් පවරා දීමද ඇය අධීක්ෂණය කළාය. මෙම ප්රයත්නයන් තුළින්,තානාපති තුමිය කලාපීය සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ පවතින එක්සත් ජනපද සහයෝගිතාව ඉදිරියට ගෙන ගියේ අන්‍යෝන්‍ය ගෞරවය,බෙදාගත්සහයෝගී වටිනාකම් සහ ඉන්දු-පැසිෆික් ස්ථාවරත්වය මත මුල් බැසගත්හවුල්කාරිත්වයක් සඳහා එක්සත් ජනපදයේ ඇති කැපවීම නැවත නැවතත් තහවුරු කරමිනි.
චංග් තානාපතිනිය යටතේ තරුණ හා අධ්‍යාපන වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක විය. පීස්කෝර් ස්වේච්ඡා සේවකයන් 2024 වසරේ දී නිල වශයෙන් සිය කටයුතු නැවත ආරම්භ කළ අතර, මඩකලපුවේ ඇමරිකානු පියස සහ ත්‍රිකුණාමලයේ ඇරඹි ඉංග්‍රීසි භාෂා විද්‍යාගාරය වැනි නව පහසුකම් හරහා ඇමරිකානු සංස්කෘතික හා අධ්‍යාපනික සබඳතා සඳහා ප්‍රවේශය වැඩි දියුණු විය. තානාපති කාර්යාලයේ තරුණ සංසදය (Embassy’s Youth Forum) තරුණ දකුණු ආසියානු නායකත්ව මුලපිරීම (Young South Asian Leadership Initiative, YSALI) සහ ඉංග්ලිෂ්ඇක්සෙස් වැඩසටහන (English Access program) වැනි වැඩසටහන්, ශ්‍රී ලාංකේය නායකයින්ගේ අනාගත පරපුර සවිබල ගැන්වීම අඛණ්ඩව සිදු කර ගෙන යයි.
සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපති අරමුදල හරහා හම්බන්තොට අසල ඓතිහාසික ගොඩවාය දියබත් නෞකාව සංරක්ෂණයට සහාය වෙමින්, ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද සබඳතාවන්හි අංගයක් වූ සංස්කෘතික උරුමයන් ඉහළ නැංවීමට චංග් තානාපතිනිය දායක වුවාය. මෙම ප්රයත්නයන් හවුල්කාරී ඉතිහාසය සංරක්ෂණය කිරීම සඳහා වන එක්සත් ජනපද නායකත්වය පිළිබිඹු කරන අතර එක්සත් ජනපද-ශ්‍රී ලංකා උපායමාර්ගිකහවුල්කාරිත්වය ශක්තිමත් කරමින් ඉන්දු-පැසිෆික් කලාපීය ආරක්ෂාවේ වැදගත්කමද අවධාරනය කරයි.
එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ පවතින හවුල්කාරිත්වයට කැපවී සිටින අතර චංග් තානාපතිනියගේ වසර හතරකට ආසන්න ධුර කාලය තුළ ස්ථාපිත කරන ලද ශක්තිමත් පදනම තවදුරටත් ගොඩ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සමීපව කටයුතු කරනු ඇත. නව එක්සත් ජනපද තානාපතිවරයෙකු පැමිණෙන තෙක් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හොවෙල් මහත්මිය,වැඩ බලන තානාපති ධුරයේ කටයුතු කරනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
