ආසියාවේ දේශීය මුදල් මූල්‍යකරණයට ලෝක බැංකු සමූහයේ මැදිහත්වීමක්
ව්‍යාපාරවලට ඇති විදේශ විනිමය අවදානම අවම කිරීමට සහ පුනර්ජනනීය බලශක්ති හා යටිතල පහසුකම් ක්ෂේත්රයන්හි නව පෞද්ගලික ආයෝජන සඳහා අවස්ථාව සලසා දීමට, දිගුකාලීන ශ්‍රී ලංකා රුපියල් මූල්‍යකරණය සඳහා වන ප්‍රවේශය පුළුල් කිරීමට ලෝක බැංකු සමූහය පියවර ගෙන තිබේ.
ආසියාවේ මෙවැනි ආකාරයේ ප්‍රථම ගනුදෙනුව ලෙස, ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාරය විසින් පෞද්ගලික අංශය කෙරෙහි අවධානය යොමු කරන ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ශ්‍රී ලංකාවේ HSBC බැංකුව අතර වසර හයක ශ්‍රී ලංකා රුපියල් (LKR) ණය ගැනීමේ පහසුකමක් සංවිධානය කර ඇත. ඇ.ඩො.මිලියන 5කට සමාන වන මෙම ස්ථාවර පොලී අනුපාත පහසුකම, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන ලද ප්‍රථම ණය ගැනීමේ පහසුකම වේ.
මෙම පහසුකම දැනටමත් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය සඳහා දිගුකාලීන මූල්‍යකරණය සම්පාදනය කිරීමට උපකාරී වෙමින් පවතී. ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාරය විසින් සංවිධානය කරන ලද අතිරේක දේශීය මුදල් අරමුදල් සමඟ ඒකාබද්ධව, මෙමඟින් ශ්‍රී ලංකාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති සමාගමකට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් ලබා දෙන ඇ.ඩො.මිලියන 10ක, වසර 10ක රුපියල් ණය මුදල සඳහා සහාය වේ. මෙම ආයෝජනය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් මෙතෙක් ලබා දී ඇති දීර්ඝතම කාලසීමාවකින් යුත් රුපියල් ණය මුදල වන අතර, එහි ප්‍රථම රුපියල් යටිතල පහසුකම් ණය මුදල මෙන්ම මෑතකාලීන ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද ප්‍රථම යටිතල පහසුකම් ආයෝජනය ද වේ.
දේශීය වශයෙන් රුපියල් රැස් කිරීම මඟින්, ව්‍යාපාර උපයන මුදල් ඒකකයෙන්ම ණය ලබා දීමට ලෝක බැංකු සමූහයට හැකියාව ලැබෙන අතර, එමඟින් විනිමය අනුපාත අවදානම්වලට ඔවුන් නිරාවරණය වීම අවම කරයි. මෙම පළමු පහසුකම පදනම් කර ගනිමින්, පෞද්ගලික ආයෝජන සහ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව තුළ දිගුකාලීන දේශීය මුදල් මූල්‍යකරණය තවදුරටත් පුළුල් කිරීමට ලෝක බැංකු සමූහය අපේක්ෂා කරයි.
"දිගුකාලීන දේශීය මුදල් මූල්‍යකරණය සඳහා ප්‍රවේශය ලැබීම තුළින් ව්‍යාපාරවලට තමන්ට කළමනාකරණය කර ගැනීමට නොහැකි විදේශ විනිමය අවදානමක් නොගෙන ආයෝජනය කිරීමට, වර්ධනය වීමට සහ රැකියා උත්පාදනය කිරීමට හැකි වෙනවා. ආසියාවේ මෙම ප්‍රථම ණය ගැනීමේ පහසුකම මඟින් නැගී එන වෙළෙඳපොළවල් වෙත අපට ගෙන ආ හැකි මූල්‍ය විසඳුම් පුළුල් කරන අතර, වර්ධනයට සහ ආර්ථික අවස්ථා උදා කිරීමට හේතු වන ක්ෂේත්‍ර වෙත පෞද්ගලික ආයෝජන යොමු කිරීමට ද උපකාරී වෙනවා." යැයි ලෝක බැංකු සමූහයේ, අධ්යක්ෂ (භාණ්ඩාගාර සේවාදායක විසඳුම් සහ ව්‍යුහගත කිරීම) කේෂව් ගෝර් මහතා පවසා සිටියේය.
මෙම ගනුදෙනුව ශ්‍රී ලංකාව තුළ මෙන්ම HSBC හි ගෝලීය ජාලය පුරා ලෝක බැංකු සමූහය සමඟ පවතින HSBC හි පුළුල් හවුල්කාරිත්වයේ කොටසකි. තිරසාර සංවර්ධනයට සහාය වීම සඳහා රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවය වෙනුවෙන් නව මංපෙත් හඳුනා ගැනීමට සහ පෞද්ගලික ප්රාග්ධනය සම්පාදනය කිරීමට HSBC බැංකුව ලෝක බැංකු සමූහයේ Private Sector Investment Lab ද සහභාගී වේ.
"සමාගම් සඳහා දිගුකාලීන ශ්‍රී ලංකා රුපියල් මූල්‍යකරණය සඳහා වන ප්‍රවේශය පුළුල් කරන සහ විදේශ විනිමය අවදානම කළමනාකරණය කර ගැනීමට ඔවුන්ට උපකාර කරන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සමඟ වන මෙම සන්ධිස්ථානීය හවුල්කාරිත්වයට සහාය දැක්වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. HSBC හි දේශීය විශේෂඥතාව සහ ගෝලීය හැකියාවන්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ සංවර්ධන වරම සමඟ ඒකාබද්ධ කිරීමෙන්, ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහ රටේ දිගුකාලීන ප්‍රමුඛතාවන්ට සහාය වන තවත් ප්‍රායෝගික විසඳුම් ගවේෂණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා" යැයි HSBC ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සර්ජනර් මහතා පවසා සිටියේය.
2024 වසරේදී කෙන්යාවේ සහ 2026 වසරේදී දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ සිටි (Citi) බැංකුව විසින් ස්ථාපිත කරන ලද ණය ගැනීමේ පහසුකම් මත පදනම්ව මෙම ශ්‍රී ලංකා පහසුකම ගොඩනගා ඇත. පසුගිය දශකය පුරා, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් මුදල් වර්ග 71ක් හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 33කට අධික දේශීය මුදල් මූල්‍යකරණයක් සඳහා කැපවී ඇති අතර, දිගුකාලීන මූල්‍යකරණය බොහෝ විට සීමිත වෙළෙඳපොළවල ව්‍යාපාර සඳහා ඊට ප්‍රවේශ වීමට උපකාර කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
