බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තේ වතු ඉඩම්වල පිහිටි ජල මූලාශ්‍ර රක්ෂිත ඉඩම් කැබලි 362කින් සමන්විත භූමි ප්‍රදේශය 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාට ලැබී ඇති බලතල ප්‍රකාරව 2023 ජුනි මස 09 වන දිනැති අංක 2335/21 දරන ගැසට් පත්‍රය මගින් “හාලිඇල ජල මූලාශ්‍ර රක්ෂිත පාරිසරික ආරක්ෂක ප්‍රදේශය” යන නමින් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
බදුලු ඔය පෝෂණය කරන කුඩා දිය පහරවල් වෙත ජලය ලැබෙන්නා වූ ජල මූලාශ්‍ර මෙම ප්‍රදේශයේ පිහිටා තිබේ. එම ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා සංරක්ෂණය සහ නීතිමය රැකවරණයක් ලබාදීමේ අරමුණින් මෙම ප්‍රදේශය පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස නම් කිරීමට කටයුතු කරන ලදී.
ඒ අනුව, මින් ඉදිරියට “හාලිඇල ජල මූලාශ්‍ර රක්ෂිත පාරිසරික ආරක්ෂක ප්‍රදේශය” තුළ සිදු කළ හැක්කේ අවසරලත් භාවිතයන් පමණක් වන අතර ඒවා ද ගැසට් පත්‍රයේ සඳහන් කොන්දේසිවලට යටත්ව සිදුකළ යුතුවේ. ජල මූලාශ්‍ර රක්ෂිත ප්‍රදේශය වැඩි දියුණු කිරීම සඳහා සිදුකරන රුක් රෝපණ වැඩසටහන්, ග්‍රාමීය ප්‍රජාවට පානීය ජලය සපයනු ලබන ප්‍රජා මූලික ජල සැපයුම් ව්‍යාපෘති සහ හාලිඇල පාරිසරික ආරක්ෂක ප්‍රදේශයේ තිරසාර පැවැත්මට අදාළ ක්‍රියාකාරකම් මෙලෙස අවසර ලත් භාවිතයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මේවන විට ශ්‍රී ලංකාව තුළ පාරිසරික ආරක්ෂක ප්‍රදේශ දහයක් නම් කර ඇති අතර “හාලිඇල ජල මූලාශ්‍ර රක්ෂිත පාරිසරික ආරක්ෂක ප්‍රදේශය” එකළොස් වැනි පාරිසරික ආරක්ෂක ප්රදේශයයි.