හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු වැල්ලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජිවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (10) නියම කළේය.
හෙරොයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇතැයිද පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට ජිවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි මංජුල කුමාර නමැත්තාටය.
2013 අගොස්තු මස 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැල්ලවත්තේදී හෙරොයින් ග්‍රෑම් 2.11 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අවස්ථාවේදී ඔහු සන්තකයේ සුක්ෂම අන්දමින් සඟවාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 2.11ක් සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජිවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ඉමේෂා ධර්මදාස මෙනවිය සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පෙනී සිටියාය.
