ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක වකවානුවක ජනතා පරමාධිපත්‍ය බලය නිකැළැල්ව ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සැලසුණු මහ මැතිවරණයක් පැවැත්වීමට හැකිවීමට ප්‍රජාතනත්‍රවාදයේ ජයග්‍රහණයකි.
විශේෂයෙන්ම, පුරවැසියන් සතු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී ස්වාධීන කොමිෂන් සභාවන්හි වැදගත්කම පිළිබඳව මුලු මහත් ලෝකයටම ආදර්ශයක් වෙමින් ප්‍රසංශනීය කාර්යභාරයක් ඉටු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සමත් විය. පාලිත කෝවිඩ්-19 වංසගත තත්ත්වයක් යටතේ පැවති විවිධ ප්‍රායෝගික බාධක ජය ගනිමින් අනේකවිධ විවේචන සහ අපහාස ද උපේක්ෂාවෙන් දරා ගනිමින් සිය ජාතික වගකීම විශිෂ්ට අන්දමින් ඉටු කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපත් මහින්ද දේශප්‍රිය මහතා සහ එම කොමිසමෙහි අනෙකුත් සාමාජිකයන් වන නලින් ජයන්ත අබේසේකර සහ මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන්ට ද මාගේ ගෞරව පූර්වක ස්තුතිය පුද කරමි.
එමෙන්ම මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුලු මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ ක්‍රියාවලිය සමග එක් වූ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ විශිෂ්ඨ සේවය අගය කරමි. මැතිවරණ ක්‍රියාවලිය ආරම්භයේ සිටම අවසානය දක්වාම නිසි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් ආරක්ෂා කර ගනිමින් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය භාවිතා කිරීමට අවකාශ සලසා දීම වෙනුවෙන් කැප වූ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට ද නිදහස් සහ සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීමෙහිලා කටයුතු කළ පොලිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුධ හමුදාව ඇතුලු අනෙකුත් ආරක්ෂක අංශවලට ද මාගේ විශේෂ ගෞරවය පුද කරමි.
ස්වකීය පරමාධිපත්‍ය බලය ඵලදායී ලෙස භාවිත කරමින්, පවතින සෞඛ්‍ය අභියෝග නොසලකා, ඡන්ද පොළට පැමිණ සිය ඡන්ද අයිතිය භාවිත කළ 71%ක් පමණ වූ පුරවැසියෝ රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම පිණස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළහ. ඔවුන්ට මාගේ හෘදයාංගම ප්‍රණාමය හිමි වේ.
ප්‍රකාශ වී ඇති ජනමතය අනුව, උසස් මිනිසුන් ලෙස ජය පරාජය දරා ගනිමින්, මෙතැන් සිට සියලු දේශපාලන වාදභේද අමතක කොට අප මාතෘභූමිය මුහුණ දී ඇති බැරෑරුම් අභියෝග ජය ගැනීමට කැප වන ලෙස සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් මම ඉල්ලා සිටිමි.
