රට තුළ සිදුවන මාර්ග අනතුරුවලින් පොලීසියට වාර්තා වන්නේ දොළහෙන් එකක් පමණක් බව නීති දිසාව සහ විනය කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
මධ්‍යම පළාතේ පොලිස් කොට්ඨාස රථවාහන අංශවල ස්ථානාධිපතිවරුන් සහ මාධ්‍යවේදීන් මාර්ග අනතුරු සහ මාර්ග ආරක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ ( 30) වනදා පැවැති වැඩමුළුවකදී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මෙසේ පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
"2018 වන විට අපට වාර්තා වන්නේ රිය අනතුරු 35,000 යි. නමුත් රක්ෂණ සමාගම් කියන විදිහට වසරකට රිය අනතුරු ලක්ෂ පහක් සිදු වෙනවා. නමුත් ඒවා අපට වාර්තා වෙන්නේ නෑ. ඒ නිසා 2017 නීති සංශෝධනයෙන් අපි ගෙනල්ලා තියෙනවා අනතුර කොහේ සිදු වුණත් ඒ අය සමාදාන වුනත් පොලීසියට දැනුම් දෙන්න ඕන කියලා. නමුත් අපට වාර්තාවෙන්නේ ලංකාවේ සිද්ධ වෙන රිය අනතුරුවලින් දහයෙන් එකක් හෝ දොළහෙන් එකක් විතරයි. 2009 ඉඳලා 2018 වෙන කොට වසර දහයක් තුළ ලංකාවේ රිය අනතුරුවලින් 30,000 ක් මැරිල තියෙනවා. සාමාන්‍යයෙන් රිය අනතුරකින් කෙනෙක් මැරුනහම ඒ මරණයට අවශ්‍ය නීතිමය කටයතු අවසන් කිරීම සඳහා රුපියල් මිලියනයක් විතර වියදම් වෙනවා. මේ අවුරුදු දහය තුළ 30,000 ක් මැරිල තියෙනවා. ඒ සඳහා කර ඇති වියදම මිලියන 30,000 ක්.
මේ මුදලින් කිලෝමිටර් 10 ක 15 ක විතර අධිවේගී මාර්ගයක් හදාගන්න පුළුවන්. මේ මුදල් ඉතිරි කර ගන්න පුළුවන් මුදල්. ලෝකය දෙස බැලුවොත් ලෝකයේ මිලියන 1.26 ක් වසරකට මැරෙනවා. සෑම තත්පර 25 කටම සැරයක් ලෝකයේ කොහේ හරි එක්කෙනෙක් රිය අනතුරකින් මැරෙනවා. ලංකාවේ ගිය වසරේ 3113 දෙනෙකු මැරිල තියෙනවා. ලංකාවේ සෑම පැය දෙකයි විනාඩි 49 කටම එක් අයෙක් රිය අනතුරකින් මැරෙනවා. ඒ වගේම ගිය වසරේ 20,539 කට තුවාල වෙලා තියෙනවා. ඒ කියන්නේ පැයකට දෙන්නෙකුට වඩා තුවාල වෙලා තියෙනවා මේ අතරින් මැඩියෙන්ම මැරිල තියෙන්නේ යතුරු පැදිකරුවන්. ඊළඟට මැරිල තියෙන්නේ පාරේ පයින් ගිය අය.ඊළඟට වැඩියෙන්ම මැරිල තියෙන්නේ මගීන්.
අද අපේ සීසීටීවි කැමරා පද්ධතිය බැලුවහම මිනිස්සුන්ගේ ජීවිත සතුන්ගේ ජීවතවලට වඩා අන්ත තත්ත්වයට පත් වෙලා තියෙන බව පේනවා. මේ තත්ත්වය ඉතාම අවාසනාවත්න තත්ත්වයක් ලෙසයි අපි දකින්නේ. මේකේ වරද කොහේද කියලා හිතන්න ඕන. නීතිය ක්රීයාත්මක කරන අපේ වරදක්ද, පාරේ යන අයගේ වරදක්ද,? මේ තත්ත්වය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් ලෙසයි අපි දකින්නේ. ඒ නිසා මේ තත්ත්වය වළකා ගන්න අපට තනියෙන් බෑ . ඒ නිසා සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. නොසැලකිලිමත් ධාවනය, වේගයෙන් ධාවනය සහ තරඟය මේවට හේතු වෙලා තියෙනවා. බීමත්කම, විඩාව, නිදිමත ගතිය, අසනීප තියෙද්දී වාහන එළවීම , වගේ දේවල්, මාර්ගයේ තත්ත්වයන් මේකට බලපානවා. වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගේ වාහන එළවීම අද විලාසිතාවක් බවට පත් වෙලා තියෙනවා.
විශේෂයෙන් අපි බැලුවොත් අපේ මාර්ග පද්ධතිය දියුණු වෙලා නෑ. එදා අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ නුවර තිබුණ පාරවල් ටික තමයි තවමත් තාර ටිකක් දාල තියෙන්නේ. එදා කොළඹ ඉඳල නුවරට තිබුණ පාරමයි තියෙන්නේ තැන් කිහිපයක පළල් වෙලා තියෙනවා. නමුත් ලෝකයේ අනෙක් රටවල්වල මාර්ග පද්ධතිය දියුණු වෙලා තියෙනවා. නමුත් මේ අභියෝගයට පොලීසිය හැටියට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. කවුරුවත් වෙන කාටවත් බනින්නේ නෑ. ඔක්කොම බනින්නේ පොලීසියටයි. අපිට මේ අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. නිදහසින් පස්සේ පාරවල් හැදුවේ නෑ කියලා කාටවත් කවුරුවත් බනින්නේ නෑ. පොදු ප්‍රවාහන සේවා දියුණු කළේ නෑ කියලා බනින්නේ නෑ. විදෙස් රටවල්වල උමං දුම්රිය මාර්ග තියෙනවා, උඩින් පාරවල් තියෙනවා. පදික මාරු එකක්වත් පාර හරහා නෑ. නමුත් අපේ ඒවා දියුණු වෙලා නෑ. ඒ නිසා හැම වෙලාවේම මිනිස්සුන්ගේ දෝෂදර්ශනයට පොලීසිය පත් වෙනවා. මේකට අපි අපේ උපරිම ශක්තිය යොදලා වළක්වන්න ඕන නමුත් අපට හුදකලාව බෑ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
මහනුවර - මොහොමඩ් ආසික්
