හයිටියේ කල්ලි මර්දනය කරන ලංකාවේ රණවිරුන්ට එරට අගමැතිගේ පැසසුමට
හයිටි රාජ්‍යයේ ස්ථාපිත ජාත්‍යන්තර කල්ලි මර්දන බලකාය (GSF) යටතේ සේවය කරන ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්, Artibonite කලාපයේ ක්‍රියාත්මක Kokorat San Ras නමැති සන්නද්ධ කල්ලියට එරෙහිව හයිටි ජාතික පොලිසිය (PNH) සමඟ එක්ව සාර්ථක ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුමකට දායක වී තිබේ.
ග්‍රොස් මෝර්න් (Gros Morne) ප්‍රදේශයේ ටිබ්වාඩොම් (Tibwadòm) සහ කාර්නිෆිස් (Carnifice) හි පිහිටි සන්නද්ධ කල්ලි බලකොටු ඉලක්ක කර ගනිමින් අලුයම් කාලයේදී ක්‍රියාත්මක කෙරුණු මෙම මෙහෙයුමේදී සන්නද්ධ කල්ලි සාමාජිකයින් විසින් අත්පත් කරගෙන සිටි දේවස්ථානයක් සහ පාසලක් මුදාගෙන එම ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ සමත් විය. එසේම, එම කල්ලියේ සාමාජිකයින් සතුව තිබූ නීතිවිරෝධී ගිනි අවි, පතොරම් රැසක් සහ යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට ද, ආරක්ෂක අංශ කටයුතු කළේය. තවද, අංක 5 ජාතික මහා මාර්ගය (National Road 5) අවහිර කරමින් ඉදිකර තිබූ මාර්ග බාධක ඉවත් කිරීමට ද මෙහිදී පියවර ගැනුණු අතර, වසර ගණනාවකට පසු මෙම මාර්ග පද්ධතිය බාධාවලින් තොරව විවෘත කිරීමට හැකි වී ඇති බව වාර්තා වේ.
හයිටි ජාතික පොලිසිය සහ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත කල්ලි මර්දන බලකාය ඒකාබද්ධව සිදු කළ මෙම සාර්ථක මෙහෙයුම පිළිබඳව හයිටි අග්‍රාමාත්‍ය Alix Didier Fils-Aimé මහතා සිය නිල 'X' ගිණුම ඔස්සේ සටහනක් තබමින් සිය ප්‍රසාදය සහ ස්තූතිය ශ්‍රී ලංකා හමුදා භට පිරිස් වෙත පළ කර තිබේ.
සන්නද්ධ කල්ලි ජාලයන් බිඳ දැමීම, අත්‍යවශ්‍ය මහා මාර්ග ඔස්සේ ගමනාගමන පහසුකම් යළි ස්ථාපිත කිරීම සහ පීඩාවට පත් ප්‍රජාවන්හි සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම මෙහෙයුම ඉතා වැදගත් පියවරක් ලෙස සැලකෙයි.
සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමට සහ හයිටි රාජ්‍යයේ ස්ථාවරත්වය යළි ඇති කිරීමට දරන ජාත්‍යන්තර ප්රයත්නයන්ට සහාය දැක්වීමේදී ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් දක්වන වෘත්තීයමය භාවය, මෙහෙයුම් හැකියාව සහ කැපවීම මෙම මෙහෙයුම සඳහා ඔවුන්ගේ සක්‍රීය දායකත්වය තුළින් මැනවින් පිළිබිඹු වේ.
පෝර්ට්-ඕ-ප්‍රින්ස් (Port-au-Prince), ගොනයිව්ස් (Gonaïves) සහ එස්ට්‍රෙල්ලා (Estrella) වැනි ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානවල ස්ථානගත කර ඇති ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්, සන්නද්ධ රථ මුර සංචාර සිදු කිරීම, ප්‍රධාන සැපයුම් මාර්ග ආරක්ෂා කිරීම සහ සන්නද්ධ කල්ලි මර්දනය කිරීම සඳහා ප්‍රාදේශීය බලධාරීන්ට සහාය වීම යන කාර්යයන්හි අඛණ්ඩව නිරතව සිටිති.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
