හදිසි නීතියට සහය දුන්නේ ජාතික ආරක්ෂාවට මිස රජයේ ආරක්ෂාවට නොවේ - කාංචන
හදිසි නීතිය දීර්ඝකිරීමේ යෝජනාව මීළඟට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ දී ඊට සහය දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය වශයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේරත්න මහතා මේ බව අනාවරණය කළේය.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයට සහාය වීමක් වශයෙන් හදිසි නීතිය සම්මත කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහාය ලබාදුන්න ද කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් කප්පාදු කිරීම සඳහා ආණ්ඩුව හදිසි නීතිය යොදා ගනිමින් සිටියි.
ආණ්ඩුවට විරෝධතාවය දක්වන පිරිස් මර්දනය කිරීම සඳහාත්, විරෝධතා උද්ඝෝෂණ ආදිය පැවැත්වීම වැළැක්වීම සඳහාත්, ආණ්ඩුව හදිසි නීතිය උපයෝගී කර ගැනීම අනුමත කල නොහැකි බව මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
ජාතික ආරක්ෂාවට වැදගත් වන හදිසි නීතිය සම්මත කර ගැනීම සඳහා යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනයේ දී ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය අවම වීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා හදිසි නීතිය සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහාය නොදක්වන බවද පෙන්වා දුන්නේය.
පාස්කු ප්‍රහාරයෙන් පසුව උතුරට හමුදා ආරක්ෂාව ඉල්ලා සිටියද දෙමළ ජාතික සන්ධානය මේ වනවිට හදිසි නීතිය දීර්ඝ කිරිමට විරෝධය පළ කරන බව ඊයේ පාර්ලිමේන්තුවේදී හොදින් පැහැදිලි වු බවත් ඔහු සඳහන් කළේය.
මේ වනවිට රටේ ආරක්ෂාව තහවුරු කර ඇත්නම් දළදා පෙරහර සහ වෙනත් ආගමික කටයුතු පැවැත්වීමේ දී දැඩි ආරක්ෂාවක් යොදන්නේ මන්දැයි මෙහිදී ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හදිසි නීති සම්මත කිරීමට සහය දක්වන්නෙ රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස බවද අවධාරණය කළේය.
කෂිනි හපුආරච්චි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

