සෝෆා ගිවිසුම අත්සන් කළේ කුමන අවුරුද්දේ යන්න ළඟදීම හෙළි කරන බවත් එවැනි ගිවිසුමකට වත්මන් ආණ්ඩුව අත්සන් කර නොමැති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
බලංගොඩ පැවැති උත්සවයක් අමතමින් ඊයේ (14දා) ඇය මේ බව පැවැසුවාය.
“සමහර රජයේ නිලධාරීන් ඉන්නවා කීයක් හරි ගසා කන්න. සමහර දේශපාලඥයින් ඉන්නවා එල්ලෙන්න වැල් නැහැ. මේ ආණ්ඩුව ලස්සනට අවේ නැහැ. විවිධ බාධා ආවා.
මිනිස්සු නොමග යවන්න බැඳුම්කරයක් ගැන කිවුවා. කැන්වසින් ගිය මිනිස්සුන්ට කිවුවේ මොකක්ද බැංකු හොරා කියලා. මම ඕන කොනකුට කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට එරෙහිව තියෙනවා නම් එක චෝදනාවක් ඔප්පු කරලා පෙන්වන්න.
ඊයේ පෙරේදා වෙන කොට තව එකක් පටලවාගෙන සෝෆා ගිවිසුමක් ගැන. ඒකට තව එක්කෙනෙක් හූ මිටි තියන්න විපක්ෂ නායකවරයා ළගට ගිහිං තිබ්බා. මම බය නැතිව ඕන කෙනෙකුට කියනවා. කවුද සෝෆා ගිවිසුම අත්සන් කළේ මොන අවුරුද්දේද කියලා. අපි හෙට අනිද්දාම හෙළි කරනවා. කිසිම ගිවිසුමකට අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන් අත්සන් කරලා නැහැ.”
