පරිසර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ගංගා 103ම සංරක්ෂණය සඳහා ආරම්භ කර ඇති සුරකිමු ගංගා වැඩසටහන සඳහා රජය විසින් 2021 වසර සඳහා ලබා දී ඇති රුපියල් මිලියන 200ම රටේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගංගා ආශ්‍රිතව හඳුනාගන්නා ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට ඒ ඒ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වෙත බෙදා දී ඇත.
ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් පරිසර අමාත්‍යාංශය වෙත තම දිස්ත්‍රික්ක හරහා ගලන ගංගාවන් ආශ්‍රිතව ක්‍රියාත්මක කළ හැකි හඳුනාගන්නා ලද ව්‍යාපෘති පරිසර අමාත්‍යාංශය වෙත එවනු ලැබීය.
ඒ අනුව ව්‍යාපෘති 40කට ආසන්න ප්‍රමාණයකට අනුමැතිය ලබා දී ඇත.
එක් එක් දිස්ත්‍රික්කවල ගංගා ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන සංරක්ෂණ ව්‍යාපෘති ආරම්භ කිරීම පසුගියදා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ඒ අනුව රුපියල් 6,190,038ක වියදමින් වළවේ ගඟ සංරක්ෂණ ව්‍යාපෘතියක් අම්බලන්තොට දීත්, කිරිඳි ඔය සංරක්ෂණ ව්‍යාපෘතිය රුපියල් 1,873,000ක වියදමින් ලුණුගම්වෙහෙරේ දීත් ආරම්භ කරන ලදී.
මෙහිදී එම ගංගා ඉවුරුවල වැවී ඇති ආක්රමණශිලි ශාක ඉවත් කිරීම අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් ආරම්භ කරනු ලැබීය.
සුරකිමු ගංගා වැඩසටහන යටතේ ගංගා ආශ්‍රිතව කුඹුක් හා මී පැළ රෝපණය සඳහා රුපියල් මිලියන 50ක මුදලක් ද වෙන් කර ඇති අතර ගංගා ආසන්නයේ පදිංචි ඇතැම් පවුල්වලට වැසිකිළි පහසුකම් නොමැති හෙයින් කැළණි, මැණීක් හා වළවේ ගංගා ආශ්‍රිතව වෙසෙන එම ජනතාවට නිත්‍ය වැසිකිළී පහසුකම් සළසා ගැනීම සඳහා රුපියල් මිලියන 19ක මුදලක් බෙදා දීමට ද කටයුතු යොදා තිබේ.