සිගිරිය අසල ගල් ලෙනක නිදන් හාරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට
සීගිරිය පොලිස් බල ප්‍රදේශයේ ඇටවරාහේන පාළුවෙල ප්‍රදේශයේ පැරණි ගල් ලෙනක නිධානයක් ගැනීම සඳහා ලෙන පුපුරවා හැරීමට උත්සාහ කරමින් සිටි පුද්ගලයන් තුන් දෙනෙකු සැකපිට අද ( 04) දින අලුයම සීගිරිය පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සහ සීගිරිය ඇටවරාහෙන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය වැටලීම සඳහා යන අවස්ථාවේ පැනගොස් ඇතැයි වැඩබලන පොලිස් ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ආර්.ඩී . සිරිපාල මහතා පැවසීය.
සීගිරිය පොලිස් බල ප්‍රදේශයේ ඇටවරාහෙන පාළුවෙල ප්‍රදේශයේ නිවසක පිටුපස ඉපැරැණි ගල් තලාවක ඇත් අඩි සලකුණු සහ තවත් නිදන් සලකුණු රැසක් ඇති බව පවසමින් මෙම කණ්ඩායම ඉතා සූක්ෂම ලෙස වෙඩිබෙහෙත් උපයෝගී කරගෙන ගල පුපුරුවා හැරීම සඳහා සූදානම් වන බව පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට තිබේ.
වැටලීමේදී ඔවුන් ගල පුපුරවා හැරීම සඳහා ගෙනැවිත් තිබූ ඩෙටනේටර් තුනක් වයර් රෝල් කීහිපයක් සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම පූජා භාණ්ඩ සහ ගල් විදින උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගත් බව පොලීසිය කියයි.
සිද්ධියෙන් පසුව පැන ගිය පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පිටත් කොට ඇතැයි වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ දිනවල දිගින් දිගටම සීගිරිය බල ප්‍රදේශයේ නිධන් කොල්ල කෑමේ උත්සාහයන් රැසක් වාර්තා වූ බවත් එම අවස්ථා රැසක්ම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබෙන බව පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් තිදෙනා අද දින දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටි .
සීගිරිය පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ආර්. ඩි. සිරිපාල උපපොලිස් පරීක්ෂක දිසානායක යන නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම වැටලීමට එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

