සාගතයෙන් බේරීමට අවශ්‍ය ගොවිබිම් වගාකිරීමමට තෙල් නැවක් අවශ්‍ය බවත් ගොවීන්ට තෙල් ලැබෙනවා ද? නැද්ද? යන කරුණ මත රටේ මන්දපෝෂණයේ ප්‍රමාණය තීරණය වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය.
ළමා මන්දපෝෂණය සම්බන්ධයේන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඇය මේ බව පැවැසුවාය.
“මේ කන්නයේ වී වගාවට බිම සකස් කරන්න තෙල් ලීටර් කෝටි 51 ක් අවශ්‍යයි. බඩ ඉරිඟු වගාවට බිම සකස් කරන්න තෙල් ලීටර් ලක්ෂ 25 ක් අවශ්‍යයි. මේ කන්නයේ වී, ඩබඉරිඟු වගාවට බිම සකස් කරන්න විතරක් ඩීසල් නැවක් ඕනි.
තෙල් නැත්තම් වගාව කරනවා තියා කුඹුර හාන්න බැරි වෙනවා. ගොවියාට තෙල් ටික දෙන්න ආණ්ඩුවට තියෙන වැඩ පිළිවෙල මොකක්ද? කියා මම ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් අහනවා.
මේ රටේ දරුවන් 40,000 ක් අධි මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඔවුන් එක්කෝ මන්දපෝෂණය නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. නැතිනම්, රජයේ සහනාධාරයකින්, පරිත්‍යාගශීලියෙකුගේ සහායෙන් බඩෙන් අඩක් පුරවා ගන්නවා.
සෑම මිනිසෙකුටම අවශ්‍ය අවම පෝෂණය සහිත ආහාර වේළකට වැය වන මුදල 156% කින් ඉහළ ගොස් අති බව ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හා ලෝක ආහාර වැඩසටහන කරපු සමීක්ෂණයේ දැක්වෙනවා.
අපේ රටේ ආහාර සහ පෝෂණය පිළිබඳ ප්රශ්නය ‘ආහාර නැතිකමට වඩා ආහාර සඳහා ලඟාවීමට මිනිසුන්ට හැකියාවක් නොමැතිකම‘ යි.
ආහාර තියෙනවා. හැබැයි අවශ්‍ය අයට ඒවා ලබාගන්නට බෑ.රාජ්‍ය යේ වගකීම ‘ආහාර අවශ්‍ය අයට, ආහාර ලබාදීම‘ යි.
ලංකාවේ ජනතාවගේ පෝෂණ තත්වය ලතින් ඇමරිකාව, අප්‍රිකාව, කාන්තාර කලාප, ආක්ටික් කලාප, පැසිපික් කලාපයට වඩා පහලට වැටුනේ කොහොමද? යුද්ධයක් තියෙන රටවල්වලට වඩා නරක් වුනේ කොහොමද?
ලංකාවේ යුද්ධය තිබුණ කාලයටත් වඩා රට රකින් විරුවාගේ කාලයේ මන්ද පෝෂණය වැඩි වුනේ කොහොමද?
කොරෝනාවලින් පස්සේ කාබනික කෘෂිකර්මය කියන ‘අමන තීරණය‘ නිසා අපේ රටේ ආහාර නිෂ්පාදනය 40% කින් පහත වැටිලා.
කෘමිනාශක, දිලීර නාශක, වල් නාශක නැතුව ලංකාවේ ගස්වල අල, ගෙඩි, මල්, වැල් නැතිවුණා. තේ දල්ල, කුරුඳු පොත්ත නැතිවුණා. ශාඛයට සෑම කොටසක්ම කනවා. සතා සිව්පාවාට ආහාරය වෙනවා. ඒ ටික නැතිවුණා.
මාතලේ, මහියංගනය, මහවැලි කලාප, මොණරාගල තමයි වැඩිපුරම බඩඉරිඟු හදන්නේ.
දැන් අස්වැන්න 75% කින් අඩුයි. පාර අයිනේ තම්බපු ඉරිඟු කරලක් නැත්තේ ඒ නිසයි. බඩ ඉරිඟු වලින් තමයි ත්‍රීපෝෂ හදලා බඩදරු අම්මලා , දරුවෝ පෝෂණය සපයා ගත්තේ. කුකුල්ලුන්ට කන්න දුන්නේ.
මොනම ක්රමයකින්වත් ආහාර සපයා ගත නොහැකි, කන්න නැති පවුල් 61,000 ක් රටේ ඉන්නවා කියලා ජනාධිපතිතුමා අය වැය කථාවේ දී කිව්වා. මේ අයට තවත් දවසක් හෝ ප්‍රමාද නොකර ආහාර සැපයීම රටේ ප්‍රමුඛතාව විය යුතුයි.
ඔවුන්ට හාල්, පොල්, ධාන්‍ය, එළවළු, පළතුරු, පලා, මස්, මාළු, බිත්තර දෙන්න ඕනි. මේක ආණ්ඩුවට විතරක් තනියෙන් කරන්න බෑ. ජාත්‍යන්තර සහාය ගන්න අවශ්‍ය වෙයි. රාජ්‍ය නොවන සංවිධාන එකතු වෙන්න අවශ්‍යයි. ගම්වල මිනිස්සුන්ට තමන්ගේ අසල්වැසියන්ගේ කෑම වේළ ගැන බලන්න වෙයි. කැපකරු ක්‍රමයකට හෝ ආහාර දෙන ක්‍රමයක් අවශ්‍යයි.
රටේ එක පැත්තකට කන්න නෑ. අනික් පැත්තේ ආහාර විකුණා ගන්න බෑ. මුහුදේ මාළු තියෙනවා. හැබැයි අල්ලන්න යන්න තෙල් නෑ.
බිඳ වැටිච්ච සැපයුම් ජාලය කලමනාකරණය කර ගන්න තවම රජයට බැරිවෙලා තියෙනවා.
දැන් වැස්ස වැටෙනවා. රටම වගාවට, හේන් වගාවට, කුඹුරු වගාවට සුදානම් වෙනවා. මාතලේ දිස්ත්‍රික්කය විතරක් ඉඩම් ටික හාන්න තෙල් බවුසර් 560 ක් ඕනි. අම්පාර, මොණරාගල, මහියංගනය, පොලොන්නරුව, අනුරාධපුර සමහර ප්‍රා.ලේ. කොට්ඨාශයකට ඉඩම් හාන්න විතරක් බවුසර් 30 සිට 45 දක්වා ඩීසල්, භුමිතෙල් අවශ්‍යයි.
වී ගොවිතැනට විතරක් ඊලඟ කන්නට බිම සකස් කරන්නට ඩීසල් ලීටර් 51,675,000 ක් ඕනි. හෙක්ටයාරයක් හාන්න ලීටර් 65 ක් ඕනි. මේ සැරේ ගොවියෝ රොටර් කන්නේ නැතුව වී වපුරනවා. අක්කරයක් රොටරි කරන්න රු. 40,000 ක් යනවා.
බඩඉරිඟු හෙක්ටයාර් ලක්ෂයක් හදනවා කියලා රජය කියනවා. එහෙම හදන්න නම් හෙක්ටයාරයකට ලීටර් 25 ක් අවශ්
යයි. ඒ කියන්නේ තෙල් ලීටර් ලක්ෂ 25 ක් ඕනි. මේ දෙකට විතරක් ඩීසල් නැවක් ඕනි. සාගතය නැති කරන්න නම් කෘෂිකර්මයට විතරක් ඩීසල් නැවක් වෙන් කරන්න වෙනවා.
ඩීසල් නැවක් කෘෂිකර්මයට දුන්නොත් පෝෂණ ඌණතා ප්රශ්නය අවසන් වෙයි. ගොවියෝ වගා කරයි. නැත්තම්, බිම සකස් කරන්නේ නැතුව ගොවියෝ වගාව අතහරී.
අගමැතිතුමා, ඛනිජ තෙල් ඇමතිතුමා, කෘෂිකර්ම ඇමතිතුමා, මේ කන්නයට බිම සකස් කරන්න තෙල් නැවක් දෙන්න ඔයාලට පුළුවන් ද? මේ විවාදයේ දී මේ ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් අවශ්‍යයි. මේවාට උත්තර දෙන්න එකම ඇමති කෙනෙක්වත් පාර්ලිමේන්තුවේ නෑ. ආණ්ඩුවේ මුල් පේළි දෙකම හිස්.”