සහරාන්ගේ දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන්න - CID
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් නමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 04ක් වයසැති දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් ඊයේ (31දා) ඉල්ලා සිටියේය.
සහරාන් නමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 04ක් වයසැති දියණිය මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන් සිටින බව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙමින් පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබන 21 වැනිදා ඉදිරිපත් කරන ලෙස නියම කළේය.
ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්රස්තවාදීන් දෙදෙනා වන මොහොමඩ් සහරාන් සහ ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන දෙදෙනාගේ සහ බෝම්බ ප්‍රහාරයෙන් පසුව අතුරුදන් බව කියන වේටර්වරයෙකු වන විහඟ තේජාන්ත නමැත්තන්ගේ මරණ පරීක්ෂණ වාර්තා එවන ලෙස රජයේ අධිකරණ වෛද්‍යවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලීසිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදියා, අබ්දුල් හමීඩ් මොහොමඩ් රිකාස්, මොහොම්මදු මර්ෂූක් මොහොමඩ් රිලා, මොහොමඩ් අසරූඩීන් මොහොමඩ් ඉල්මි, මොහොමඩ් අමීර් මොහොමඩ් අයතුල්ලා සහ මොහොමඩ් මූමුබාරක් මොහොමඩ් අයතුල්ලා නමැත්තන් මේ වනවිටත් රහස් පොලීසිය භාරයේ රඳවා ප්‍රශ්න කරන බව මේ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සහරාන් නමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 04ක් වයසැති දියණිය මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින බවත්, ඇය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මරණ පරීක්ෂණ වාර්තා එවන ලෙස රජයේ අධිකරණ වෛද්‍යවරයාට නියම කළ මහේස්ත්‍රාත්වරයා අදාළ දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබාගෙන ළමා සහ යෞවන ආඥා පනත අනුව සුදුසු නියෝගයක් ලබන 21 වැනිදා කරන බව දැනුම් දුන්නේය. මෙම පැමිණිල්ල ලබන 21 වැනිදා කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

popular news
-
Dayan Thursday, 01 August 2019 10:01 AM
බලන්න මොන විනාශයක්ද කරලා තියෙන්නේ? අහිංසක පුරවැසියන් 250 කට වැඩි පිරිසක් නිකරුනේ මරා දමල. 500 ක් දෙනාට තුවාල කරලා, එම අයගේ නෑයන්ට දුක් කරදර දීල, තමන්ගේ දරුවන් අතරමන් කරල මේ වැඩෙන් විමුක්තියක් ලැබෙනවද? මේ වෙනකොට අවීචි මහා නරකයේ ගත කරනවා ඇති. මේ අදහස් තියෙන අය තවත් ඉන්නවනම් හිතා බලන්න. මෝඩ වෙන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

