උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දාලිත් ප්‍රජාවට අයත් 19 හැවිරිදි තරුණියක පසුගිය 14දා ඉහළ කුලයේ පුද්ගලයන් පිරිසක් අතින් සමූහ දූෂණයට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
හත්රාස් දිස්ත්‍රික් පොලිස් අධිකාරී වික්‍රන්ත් පවසා සිටියේ, මෙම තරුණිය මුලින්ම උත්තර් ප්‍රදේශ්හි රෝහලකට ඇතුළත් කර ඇති අතර පසුව ඇයට සිදුව ඇති තුවාලවල බරපතලකම හේතුවෙන් නවදිල්ලියට මාරු කර යැවූ බවය.
ඒ අනුව ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති අතර ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බව හත්රාස් පොලිසිය පවසයි.
මෙම පුද්ගලයන් සිව්දෙනාම ඉහළ කුලයකට අයත් අය වන අතර, සුළු ජාතීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් නීතිය යටතේ නඩු පවරා ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.
ඉන්දියාවේ කුල පදනම් වූ ධූරාවලිය තුළ, පහත් මට්ටමේ සිටින දාලිත් ප්‍රජාව දැඩි වෙනස්කම්වලට භාජනය වන ජන කොට්ඨාසයකි. ඉන්දියාවේ කුල ක්‍රමය 1950 දී නිල වශයෙන් අහෝසි කරන ලද නමුත් උපතින් මිනිසුන් මත පනවා ඇති අවුරුදු 2,000 ක් පැරණි සමාජ ධූරාවලිය තවමත් ජීවිතයේ බොහෝ අංශවල පවතී. කුල ක්‍රමය උපතේදී හින්දු භක්තිකයින් වර්ගීකරණය කරන අතර, සමාජයේ ඔවුන්ගේ ස්ථානය, ඔවුන්ට කළ හැකි රැකියා සහ විවාහ විය හැක්කේ කා සමගද යන්න නිර්වචනය කරයි.
පසුගිය මාසයේ උත්තර් ප්‍රදේශ් හි 13 හැවිරිදි දාලිත් දැරිය දූෂණය කර ඝාතනය කර තිබූ අතර, පසුගිය වසරේදී එළිමහනේ මලපහ කිරීමට ගිය දාලිත් දරුවන් දෙදෙනෙකුට පහර දී මරා දමන ලදී. එමෙන්ම ස්ත්‍රී දූෂණයන් අතින්ද ඉන්දියාව සෑම වසරකම ඉදිරියට පැමිණෙන අතර, එරට අධිකරණ ක්‍රියාවලිය මේ සම්බන්ධයෙන් ශක්තිමත් කරමින් තිබුණද, තවමත් මෙම අපරාධවල අඩුවක් නොමැති බව ඉන්දීය මාධ්‍ය පවසයි.