චීනයේ මේ වනවිට පැතිර යමින් පවතින කොරෝනා වෛරස ආසාදිත රෝග තත්වය නිසා ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව අඩු වීමත් වර්තමාන වෙළෙඳපළ තත්වයත් සළකාබලා ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනයේ නගර කීපයක් වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් වාර සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කර සිටී.
චීනයේ පුරවැසියන්ට විදේශ සංචාර සඳහා එරට රජය විසින් සීමා පනවා තිබීමත් මෙම ගුවන් ගමන් මෙහෙයුම් වාර අඩු කිරීමට හේතු වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රකාශ කරයි.
මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනයේ බෙයිජිං , ෂැංහයි සහ කැන්ටන් යන ගුවන් තොටුපළ වෙත සිය ගුවන් ගමන් මෙහෙයුම් වාර ක්‍රියාත්මක කරමින් සිටියි. ඒ අනුව චීනයේ බෙයිජිං සහ ෂැංහයි ගුවන් තොටුපළ වෙත සතියකට ක්‍රියාත්මක කරන ගුවන් ගමන් මෙහෙයුම් වාර හතර, දෙක දක්වා අඩු කිරීමටත්, කැන්ටන් ගුවන් තොටුපළ වෙත සතියකට ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් වාර හත, තුන දක්වා අඩු කිරීමටත් තීරණය කර තිබේ.
මෙම ගුවන් ගමන් මෙහෙයුම් වාර අඩු කිරීම මෙම පෙබරවාරි මස 06 වැනි දා සිට ලබන මාර්තු මස 28 වෙනි දා තෙක් බලපැවැත්වෙයි.
ඒ සමගම දැනට ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක වන චීන ගුවන් සේවා 04 ක් ද , මේ ආකාරයට තම ගුවන් ගමන් මෙහෙයුම් වාර අඩු කිරීමට පියවර ගෙන තිබේ.
මෙලෙස චීනය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් වලින් ඉවත් කෙරෙන ගුවන් යානා වෙනත් කළාප වල ගුවන් ගමන් මෙහෙයුම් සඳහා යොමු කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.