පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර හමුවේ පළුදු වී තිබූ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුව මේ වනවිට සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බවත්, මේ වනවිට දිවයින නැවතත් පෙර තිබූ පරිදි සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවත්, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩච්චි මහතා අවධාරණය කරයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ, පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ එම අමාත්‍යාංශ පරිශ්‍රයේදි පැවති නිල සාකච්ඡාවකදීය.
විදුලිබල අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩච්චි මහතා, මේ වනවිට ශ්‍රී ලංකාව ආරක්ෂාව අතින් සම්පූර්ණයෙන් සුරක්ෂිතවී ඇති බවත්, එබැවින් පෙර පරිදි සංචාරක කටයුතු මෙන්ම ආයෝජන කටයුතු වෙනුවෙන් දිවයිනට පැමිණීමට බිය නොවන ලෙස ලෝකයේ සෙසු රටවලට විවෘත නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් යොදාගත හැකි නවීන තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳවද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ විදුලිබල අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවේ විදුලිබල, බලශක්ති ක්ෂේත්රයන්හි ආයෝජනයන් කෙරෙහි යොමුවීම කෙරෙහිද සලකා බලන බව පැවසීය.
එසේම තම රටේ යොදාගනු ලබන නවීන තාක්ෂණික උපක්‍රම මෙන්ම සංවර්ධන ව්‍යාපෘති දැකබලා ගැනීම පිණිස තම රටට පැමිණෙන ලෙසද ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩච්චි මහතා, අමාත්‍ය කරුණානායක මහතාට ආරාධනාවක්ද සිදු කළේය.
