ශ්‍රි ලංකන් ගුවන් සේවයට ඇ.ඩොලර් මිලියන 50ක ණය ආධාර
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇප කර නැවත නිකුත් කෙරේ.
ලංකා බැංකුවට හා මහජන බැංකුවට මෙම ණය ඇප කර ලිපි නැවත නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය සුරක්ෂණය සදහා මහා භාණ්ඩාගාරයේ ඇමති මණ්ඩල අනුමැතිය ඇතිව ණය ඇප කර ලිපි 08 හා භාණ්ඩාගාර ඇප කර 02 නිකුත් කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකන් සමාගම ලබා ගෙන ඇති ඇමෙරිකානු ඩොලර් ණය පහසුකම් වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 205.38කි. ශ්‍රී ලංකා රුපියල් ණය පහසුකම්වල මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 27.60 කි. රාජ්‍ය බැංකු හරහා ලබා ගත් මෙම ණය පහසුකම් වලට අමතරව 2024 ජුනි මාසයේ දී ආපසු ගෙවිය යුතු වසර 05ක ජාත්‍යන්තර බැදුම්කරයක් මාර්ගයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 175ක අරමුදලක් සම්පාදනය කිරීම සදහා වු ඇප සහතිකයක් ද ශ්‍රී ලංකා රජය විසින් පසුගිය කාලයේ දී නිකුත් කර ඇත. ලංකා බැංකුව හා මහජන බැංකුව විසින් ලබා ගත් මෙම ණය පහසුකම් ලබාගෙන ඇත්තේ කෙටිකාලීන හා ප්රාග්ධනීකෘත පොළී පහසුකම් ලෙසය.
ජාතික ගුවන් සේවයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පසුගිය කොරොනා සිදුවීමෙන් ද තහවුරු වූ බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග මහතා ජාතික ආයතන සුරක්ෂිත කිරීමේ රජයේ ප්‍රතිපත්තිය මත මෙම ණය ඇප කර නැවත නිකුත් කිරීමට රජය තීරණය කළ බව ද කියා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
