අද අපේ දරුවන් සිටින්නේ දැනුම වේගයෙන් වෙනස් වන ලෝකයක බවත්, වෙනස් ලෙස සිතමින් දැනුම සමග අලුත් වෙමින් තාක්ෂණය සමග දරුවන් අනාගතයට යොමුකළ යුතු බවත් එසේ නොවුණහොත් අප පසුගාමී ජාතියක් බවට පත්වන බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ගාල්ල වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීම වෙනුවෙන් ඊයේ (31) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.
මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“එදා නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය කන්නන්ගර මහතා මධ්‍ය විද්‍යාල සංකල්පය හඳුන්වා දීලා මේ රටේ පාසල් ගොඩනැගිලි 25ක් එකවර ගොඩනැගුවා. අපි ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය හඳුන්වා දීලා පාසල් ගොඩනැගිලි 1500ක් අලුතින් හැදුවා. අපේ රජය බලයට පත්වෙනකොට මේ රටේ පාසල්වලින් විදුලිය තිබුණෙ සියයට 60කට විතරයි. අද වෙනකොට සියයට 98කට විදුලිය ලබා දී තියෙනවා.
අපි පාසල් ගොඩනැගිලි 5500ක් අලුත්වැඩියා කළා. විද්‍යාගාර නැති දුෂ්කර පාසල්වලට අපි ජංගම විද්‍යාගාර කට්ටල 3000ක් දුන්නා. පාසල්වලට පොත්ගන්න සල්ලි දුන්නා මිලියන 700ක්. කියවීමට දරුවන් දිරිගන්වමින් අපි ‘කළන මිතුරු පොත් සුමිතුරු වැඩසටහන’ ආරම්භ කළා. වැඩියෙන්ම පොත් කියවන දරුවන් 1000ක් දැන් අපි හඳුනාගෙන ඉන්නවා. ඒ අතරින් හොඳම කියවන්නන් 100ක් තෝරගෙන ඉන්නවා, අධ්‍යයන චාරිකාවක් සඳහා චීනයට යවන්න.
අතීතයේ මෙරට පාසල්වලට ගුරුවරුන් බඳවාගැනීම සිදුවූයේ දේශපාලන ලැයිස්තුවලින් බවත්, විභාග මගින් ගුරුවරුන් බඳවාගැනීම ආරම්භ කෙරුණේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඩිජිටල් ගුරුවරුන් ලෙස සැලකෙන ටැබ් පරිගණක පාසල් දරුවන්ට ලබාදීමට සියලු කටයුතු ද මේ වනවිට සූදානම් බව සඳහන් කළ අමාත්‍යවරයා, එහි පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙත ටැබ් පරිගණක 97,000ක් ලබාදෙන බව ද පැවසීය.
වැලිපිල්ලෙන්, ගල්ලෑල්ලටත්, එයින් පසුව කලුලෑල්ලටත්, කලුලෑල්ලෙන් වයිට් බෝර්ඩ් එකටත් මාරු වූ අපේ පාසල් දරුවන්ට අද වනවිට සුහුරු පන්ති කාමරයේ සිට ඩිජිටල් පුවරුවෙන් ඉගෙන ගන්නට අවස්ථාව සලසා දී ඇති බව" ද මෙහි දී අමාත්‍යවරයා පැවසීය.
කෂිනි හපුආරච්චි
