ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලද ලිපිය පදනම් කරගෙන කෝප් කමිටුව විසින් තීරණ කිහිපයක් ගනු ලැබූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය.
එම තීරණ ගනු ලැබුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා විසින් 2022.06.10 වැනිදින කෝප් කමිටුව වෙත පැමිණ සිදු කළ ප්‍රකාශයක් ඉවත්කරගැනීම සම්බන්ධයෙන් යොමු කොට ඇති 2022.06.11 දිනැති (CEB/CH/100) ලිපිය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.
එහිදී ඔහුගේ ප්‍රකාශය සත්‍ය වූත් නිවැරැදි වූත් බවට වූ ප්‍රතිඥාවක් ලබා ගැනීමෙන් පසු සභාවේ කටයුතු ආරම්භ කරන ලදී. කෝප් කමිටුවේ සභාපතිවරයා විසින් විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා විසින් CEB/CH/100 අංකය දරණ 2022. 06.11 දිනැති කෝප් කමිටු සාමාජිකත්වය වෙත යොමු කරන ලද ලිපිය (මෙම ලිපිය මාධ්‍ය නිවේදනය සමග එවා ඇත) සභාගත කරන ලදී. එසේම එම ලිපියෙහි ඇමුණුමක් වූ 2021 නොවැම්බර් 25 දරන එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා විසින් විදුලිබල මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා වෙත යවන ලද ලිපිය (ඇමුණුම් ලිපිය) (මෙම ලිපිය මාධ්‍ය නිවේදනය සමග එවා ඇත) ද සභාගත කරන ලදී.
2022.06.10 දින පැවැති කෝප් කමිටුවේ දී එවකට විදුලිබල මණ්ඩලයේ සභාපති වශයෙන් ෆර්ඩිනැන්ඩු මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයෙහි වචන කීපයක් ඉවත් කර ගැනීමට ඔහු විසින් කෝප් කමිටුවෙන් සිදු කරන ලද ඉල්ලීම දීර්ඝ සාකච්ඡාවකින් පසු අනුමත කිරීමට කමිටුව විසින් තීරණය කරන ලදී.
මීට අමතරව, මෙම සාකච්ඡාව තුළ දී කෝප් කමිටුව විසින් පහත කරුණු අවධාරණය කරන ලදී.
1. එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතාගේ 2022 .06.10 දිනැති ලිපියේ සඳහන් ආකාරයට කෝප් කමිටු රැස්වීමේදී තමාට බලපෑමක් සිදු වූ බවට හා අසාධාරණ චෝදනාවක් එල්ල වූ බවට පවසා තිබීම වැරදි ප්‍රකාශයක් බව ෆර්ඩිනැන්ඩු මහතා පිළිගත්තේය.
2. එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතාගේ 2021 නොවැම්බර් 25 දරන ඇමුණුම් ලිපියෙහි සඳහන් දෙවන ඡේදය සහ තුන්වන ඡේදය පිළිබඳව කෝප් කමිටුවේ දී දීර්ඝ සහ ගැඹුරු විමර්ශනයක් සිදු කරන ලදී. ඒ අනුව මන්නාරම සහ පුනරින් හි ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් වන මෙම සූර්ය බල සහ සුළං පුනර්ජණනීය බලශක්ති ව්‍යාපෘතිය (අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ්) ආරම්භ වූයේ කෙසේ ද යන කාරණය දීර්ඝව කමිටුව විසින් සොයා බලන ලදී.
එහිදී ඇමුණුම් ලිපියේ දෙවන පරිච්ඡේදයේ සඳහන් ආකාරයට මෙම ව්‍යාපෘතිය රජයන් දෙක අතර ව්‍යාපෘතියක් ලෙස පිළිගැනීමට එවකට සිටි අගමැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයක්(direction) තිබුණේද යන්න සම්බන්ධව කමිටුව විසින් විමර්ශනය කරන ලදී.
එයට පිළිතුරු වශයෙන් ෆර්ඩිනැන්ඩු මහතා ප්‍රකාශ කළේ රජයේ ඉහළ දේශපාලන අධිකාරිය ලබා දෙන මාර්ගෝපදේශ නිලධාරීන් ලෙස විධානයන් ආකාරයෙන් පිළිගන්නා බවයි.ඒ අනුව ඔහු එය රාජ්‍යන් දෙකක් අතර එකඟතාවය මත වූ ව්‍යාපෘතියක් ලෙස තමන් අවබෝධ කරගත් බව පැවසීය.
3. මීට අමතරව ඇමුණුම් ලිපියේ සදහන්වන තුන්වැනි පරිච්ඡේදයේ දැක්වෙන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති 2021.11.16 වන දින රැස්වීමේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ මාර්ගෝපදේශකත්වයක් (direction) ලබාදි තිබුණේද යන්න කමිටුව විසින් විමසන ලදී.
එසේම උක්ත කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ස්වකීය ට්විටර් (Twitter) ගිණුමේ පණිවුඩයක් මගින් විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීම ද මෙහිදී කමිටුවේ අවධානයට ලක් විය.
මෙහිදී කමිටුවෙ එක් සාමාජිකයෙකු මතු කළ විරෝධතාවක් වූයේ ඉහත ඇමුණුම් ලිපිය අගමැති ලේකම්වරයා ඇතුළත්ව බොහෝ අයට පිටපත් කර තිබූ නමුත් ජනාධිපති ලේකම්වරයාට පිටපත් කර නොමැති වූයේ මන්ද යන්නයි.
ඒ සඳහා ෆර්ඩිනැන්ඩු මහතාගේ පිළිතුර වූයේ එය සිතා මතා සිදු නොකළ අතපසු වීමක් බවයි.(Omission)
4. එයට අමතරව ඇමුණුම් ලිපියේ ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කරන පරිදි අදාල ව්‍යාපෘතිය රජයන් දෙකක් අතර ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකිද යන්න පිළිබඳවද මෙහිදී කමිටුව සාකච්ඡා කරන ලදී.
මෙහිදී කෝප් සභාපතිවරයා සඳහන් කළේ ෆර්ඩිනැන්ඩු මහතා ලිපියේ සඳහන් කරන පරිදි අදාල ව්‍යාපෘතිය රජයන් දෙකක් අතර ව්‍යාපෘතියක් ලෙස සැලකීම සහ කමිටුවේ බහුතර සාමාජික මන්ත්‍රීවරයන් විසින් එය එසේ පිළි නොගැනීම වශයෙන් මේ පිළිබඳව මත දෙකක් පවතින බවයි.
මෙහිදී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේ රජයන් දෙකක් අතර පවත්නා ව්‍යාපෘතියක් යන්න තීරණ කරනු ලබන්නේ කැබිනට් තීරණයක් අනුව බවත් මෙහි සඳහන් ව්‍යාපෘතිය සඳහා තවම එවැනි තීරණයක් ලැබී නොමැති බවත්ය.
5. එහිදී කමිටු සාමාජිකයෙකු විසින් විමසන ලද ගැටළුවක් වූයේ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස එම්.එම්. සී ෆර්නැන්ඩු මහතා භාණ්ඩාගාර ලේකම්වරයා වෙතලිපි යැවිය යුතු ක්‍රමවේදය වන්නේ විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා වන නමුත් මෙම ලිපිය එසේ එසේ යවා නොමැති බවයි.
එයට පිළිතුරු වශයෙන් ෆර්නැන්ඩු මහතාගේ අදහස වූයේ රාජ්‍ය නිලධාරියකු වශයෙන් සේවා අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා තමන් එය සෘජුව භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිපිය යොමු කළ බවයි.
6. මීට අමතරව තවත් කමිටු සාමාජිකයෙකු මතුකළ ගැටලුවක් වූයේ එම්.එම්.සී .ෆර්ඩිනැන්ඩු මහතාගේ ඇමුණුම් ලිපියට අනුව ජනාධිපති හා අගමැති සමග සාකච්ඡා තමුන් අවබෝධ කරගත් ආකාරය මත ඉදිරිපත් කොට තිබෙන මෙම ස්ථාවරය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය රාජ්‍යයන් දෙකක් අතර වූ ව්‍යාපෘතියක් ලෙස ට ලේඛනගත වී ඇති බවයි.එසේම අදානි ග්‍රීන් එනර්ජි ව්‍යාපෘතිය ඉන්දියානු රාජ්‍ය නියෝජනය කරනු ලබන බවට කිසිදු ලිඛිත සාක්ෂියක් හෝ රටවල් දෙක අතර ඒකාබද්ධ ප්රකාශනයක් නොමැති තත්ත්වයක් තුළදී එය රටවල් දෙකක් අතර ව්‍යාපෘතියක් ලෙස තීරණය කිරීම ගැටලුවක් බවයි.
මෙම කරුණු අවධාරණය කිරීමත් සමගින් අදාල විමර්ෂණ කටයුතු නිමාවට පත් කරන ලද අතර විදුලිබල මණ්ඩලයේ ඉදිරි විමර්ෂණ කටයුතු සමග මෙම ව්‍යපෘතියට අදාල ක්‍රියාදාමය පිළිබඳ සාකච්ඡා කිරිමටද කමිටුවේදී තිරණය විය.