වසර දහඅටක් අධිකරණය මඟහරිමින් සිටි සැකකරුවෙකු ඊයේ (20) සෙවනගල පොලීසිය මඟින් සෙවනගල උතුර අංක 54 නිවසේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
2001 ඔක්තෝබර් 20 වෙනි දින රාත්රී තණමල්විල ඇඹිලිපිටිය මාර්ගයේ දී තරුණයන් සිවුදෙනකු අංක 62-3962 සුඛෝපභෝගී මගී සේවා බස් රථය නතරකොට රිවෝල්වරයක් සහ අත්බෝම්බය පෙන්වා මගීන් සතුව තිබූ රුපියල් තිස්පන්දහස් පන්සියයක් හා රුපියල් තිස්පන්දහස් හත්සියයක් වටිනා රන් ආභරණ මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකුට ඇඹිලිපිටිය මහාධිකරණයේ නඩු පවරා තිබිණි.
නඩු විභාගය අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු උසාවියට නොපැමිණි අතර සැකකරුවන් දෙදෙනෙකු 2012/03/13 වෙනි දින ඇඹිලිපිටිය මහාධිකරණයේදී වරද පිළිගනු ලැබීය.
ඒ අනුව ඔවුන්ට වසර පහළොවක සිර දඬුවමක් නියම විය.
අධිකරණය මඟහරිමින් සිටි දෙදෙනා වෙනුවෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබිණි.
සැඟවි සිටි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හෙට (22) ඇඹිලිපිටිය මහාධිකරණය ඉදිරිපත් කරන ලෙස නියම කෙරිණි.
තණමල්විල පොලිස් ස්ථානාධිපති යූ.ඇම් අමරසිරි මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
