විෂ ශරීරගත කිරීමකට ලක්වීමෙන් පසු කෝමා තත්ත්වයට පත්ව සිටින බව කියන ප්‍රකට රුසියානු දේශපලඥයෙකු වන ඇලෙක්සි නවාල්නි රැගත් ගුවන් යානය සයිබීරියාවේ ඔම්ස්ක් සිට බර්ලිනයට පැමිණ තිබේ.
ඇලෙක්සි නවාල්නිගේ තත්ත්වය සහ ප්‍රතිකාරය පිළිබඳව පැය 24කට වැඩි කාලයක් පුරා ඇති වූ බහින්බස් වීමකින් පසු සෙනසුරාදා පෙරවරුවේ ජර්මානු වෛද්‍යවරුන් සමග යානය ගුවන් ගත විය.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන්ගේ පාලනය දැඩිව විවේචනය කරන්නෙකු යැයි පැවසෙන නවාල්නි බ්‍රහස්පතින්දා ඔම්ස්ක් හි දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කරනු ලැබීය. ඔහුගේ ආධාරකරුවන් විශ්වාස කරන්නේ ඔහු පානය කළ තේ සඳහා යම්කිසි විෂයක් එකතු කරන්නට ඇති බවය. ඒ අනුව ඔහුගේ අසනීප තත්ත්වය සහ ඔහුව ජර්මනියේ ඉහළ රෝහලකට මාරු කිරීම ප්‍රමාද වීම පිටුපස ක්‍රෙම්ලිනය සිටින බවට ඔවුන් චෝදනා කරයි.
කෙසේ වෙතත් රුසියානු වෛද්‍යවරු පවසන්නේ වස පානය කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, මාරුවීම වැළැක්වීමට බලධාරීන් උත්සාහ කිරීම ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කළ බවත්ය. සිකුරාදා උදෑසන ඔහුගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම පරිදි ජර්මානු විශේෂඥයන්, උසස් වෛද්‍ය උපකරණ සහිත ගුවන් යානයකින් පැමිණීමෙන් පසුව පවා ඔම්ස්ක් හි නවාල්නිගේ වෛද්‍යවරු කියා සිටියේ ඔහුට ගමන් කිරීමට නොහැකි තරම් අස්ථාවර බවය. නමුත් ජර්මානු වෛද්‍යවරු ඔහු පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුව ප්‍රවාහනය කිරීමට සුදුසු යැයි පවසා තිබුණි.
මේ අතර, ඔහු ජර්මනිය වෙත මාරුකිරීමට එරෙහි වීම දේශපාලනික නොවන බව ක්‍රෙම්ලීනය ප්‍රකාශ කළ අතර එහි ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් කියා සිටියේ එය තනිකරම වෛද්‍ය තීරණයක් බවයි. කෙසේ වෙතත්, රුසියාවේ මෙම කතා දැන් පැමිණෙන්නේ එරට නායකත්වයට ජාත්‍යන්තර පීඩනය වැඩිවීමත් සමග බවද කියයි.
බ්‍රහස්පතින්දා ප්‍රංශයේ හා ජර්මනියේ නායකයින් කියා සිටියේ නවාල්නි සහ ඔහුගේ පවුලේ අයට ඕනෑම සහායක් ලබා දීමට සූදානම් බවත්, සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත්ය. සිකුරාදා යුරෝපා සංගමයේ ප්‍රකාශිකා නබිලා මස්රාලි විසින්ද රුසියානු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ඔහුව විදේශගත කිරීමට අවසර දෙන ලෙසය.