ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව දහස් පන්සියකට ආසන්න සේවක පිරිසකට වසර ගණනාවක් තිස්සේ බලපෑ සේවක වැටුප් විෂමතාව නිරාකරණය කරන ලද බව වරාය සම්බුද්ධත්ව ජයන්ත චෛත්‍ය පරිශ්‍රයේ දී පැවැති උත්සවයකට සහභාගී වෙමින් වරාය හා නාවිකඅමාත්ය රෝහිත අබේගුණවර්ධන මහාතා අද (25දා) ප්‍රකාශ කළේය.
මෙම විෂමතාව සමාලෝචනය කොට විසඳීම සඳහා අවශ්‍ය තාක්ෂණික පසුබිම සකසක් කරන ලද්දේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අධ්යක්ෂ (මානව සම්පත් සංවර්ධන) නලින් අපොන්සු මහතා ප්රමුඛ මානව සම්පත් කොට්ඨාශය විසිනි.
මෙම විෂමතාවය ඉවත් කිරීම සඳහා වරාය හා නාවික අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, මුදල් අමාත්‍යංශය, වෘත්තීය සමිති හි නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් සමාලෝචනය කෙරණි.
"වරාය සේවක මහත්ම මහත්මීන්ගේ වැටුප් විෂමතාවය දිගින් දිගට, අතින් අතට යන ගැටළුවක් වී තිබුණ ද, එම ගැටළු, එම විෂමතාව තවත් අමාත්‍යවරයෙකු අතට නොදී විසඳීමට අවශ්‍ය පියවර මවිසින් ගන්නා ලදී. එම ජයග්‍රහණය පිළිබඳව අද දින මෙලෙස ඔබ හමුවේ ප්‍රකාශ කිරීමට ලැබීම සතුට ට කාරණයක්." යැයි අමාත්‍යවරයා පැවැසීය.
මේ සඳහා කැප වූ වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, අතිරේක ලේකම් (පාළන හා මුදල්) එච්.එම්.එල්.එස්. හේරත්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල, උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න, කළමණාකාර අධ්යක්ෂ උපුල් ජයතිස්ස, අතිරේක කළමණාකාර අධ්යක්ෂ සුසන්ත අබේසිරිවර්ධන, අධ්යක්ෂ (මුදල්) ශිරානි වන්නිආරච්චි යන යන මහත්ම මහත්මීන්ද, මූලිකව මෙම විෂමතාව විසඳිම සඳහා අවශ්‍ය තාක්ෂණික පසුබිම සකස් කළ අධ්යක්ෂ (මානව සම්පත් සංවර්ධන) නලින් අපොන්සු මහතා ප්රමුඛ එම කණ්ඩායම හා රජයේ වෘත්තීය සමිතිය වන වාණිජ කර්මාන්ත හා ප්රගතිශීලී සේවක සංගමය ප්රමුඛ කමිටුව නියෝජනය කළ සියළු වෘත්තීය සංගම් නියෝජිතයින් ද මම මේ අවස්ථාවේ සිහිපත් කළ යුතු යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන් ම ඔහු වැඩිදුරටත් දක්වා සිටියේ, අදියර දෙකකින් යුතු මෙම විෂමතාව ඉවත් කිරීම තුළින් සේවකයා තෘප්තියට පත්වීමට හේතුවක් බවයි. එබැවින් වසර ගණනාවක් ඇණහිට තිබූ වරාය සංවර්ධනය නැවත ක්‍රියාත්මකව ඇති මොහොතක, එනම්, බටහිර පර්යන්තය, නැගෙනහිර පර්යන්තය වැනි ව්‍යාපෘති සමග පිබිදෙන වරාය සංවර්ධනය යථාර්තයක් කර ගැනීම සඳහා නිළධාරීන්ගේ මෙන් ම සේවකයින්ගේ සහාය ද තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවැසීය.

