ගවයන්ට වැළඳී ඇති චර්ම ගැටිති වෛරස් රෝගය පාලනය කිරීම සඳහා වයඹ පළාත තුළ ගවයන් ප්‍රවාහනය තහනම් කරමින් පනවා තිබූ තාවකාලික තහනම ඊයේ (24) සිට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ පශු වෛද්‍ය බී.සී.එස්.පෙරේරා මහතාගේ අත්සනින් තහනම ඉවත් කරන ලද එම නිවේදනය නිකුත් කර තිබේ.
වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.
ගවයන්ට වැළඳී තිබෙන වෛරස් රෝග තත්ත්වය පාලනය වීම සහ නව රෝග තත්ත්වයන් වාර්තා වීම අවම වීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව සඳහන් කරන වෛද්‍ය පෙරේරා මහතා යම් හෙයකින් මෙම තහනම ඉවත් කිරීම හේතු කොටගෙන මෙම රෝගය යළිත් ව්‍යාප්ත වීමේ අවදානම් තත්ත්වයක් වාර්තා වුවහොත් නැවත වරක් වයඹ පළාත තුළ එළ ගවයන් සහ මී ගවයන් ප්‍රවාහනය කිරීම තහනම් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවද නිවේදනය කර සිටියි.
මෙම නිවේදනයට අනුව පෙරේදා සිට වයඹ පළාතේ පිහිටි කුලියාපිටිය , පන්නල , කටුපොත , බිංගිරිය , රස්නායකපුර , මහව , ගල්ගමුව , ගිරිබාව , කොබෙයිගනේ , නිකවැරටිය , ඇහැටුවැව , අඹන්පොළ , කොටවෙහෙර සහ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් සියළුම පශු වෛද්‍ය කොට්ඨාස තුළ ගවයන් ප්‍රවාහනය සඳහා අවසර හිමිවී තිබේ.
චර්මය ආශ්රිත මෙම වෛරසය පැතිර යාම පාලනය කිරීමට ගවයන් ප්‍රවාහනය තහනම් කිරීමට අමතරව ගව මස් ආහාරයට නොගන්නා ලෙසද නිවේදනය කර තිබූණි.
කෙසේ වුවද මෙම තහනම ක්‍රියාත්මක කළ කාලයේදී ව්‍යාජ ලිපි ලේඛන භාවිතා කරමින් වයඹ පළාතේ ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ විශාල ප්‍රමාණයක් වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ නියමයෙන් පොලිස් ස්ථාන රැසකින් අත්අඩංගුවට ගෙන තිබීමද විශේෂත්වයකි. මේ අකාරයට අත්අඩංගුවට ගත් ගව ජාවාරම්කරුවන් විසින් ගවයන් මිළදී ගෙන තිබුණේද නැවත ගවයන් ප්‍රවාහනය සඳහා අවසර ලබාදී ඇති පශු වෛද්‍ය කොට්ඨාස වලින් වීමද විශේෂත්වයකි.
එසේම රෝගය සඳහා නියමිත ඖෂධ පවා ලබා දීමට පියවර ගෙන නොතිබූ අවස්ථාවක මාසයක් වැනි කෙටි කාලයකදී මෙම තහනම ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ගව හිමියන් තම අප්‍රසාදය පළ කරති. රෝගය නිසි පාලනයකට ලක් වීමටත් පෙරම නීති විරෝධී ගව ජාවාරම්කරුවන්ගේ බලපෑමක් මත මෙම තහනම ඉවත් කර ඇති බවට ගව හිමියන් චෝදනා කරයි.