ලෝක බැංකුව සහ ශ්‍රී ලංකාව ලෝක බැංකු ආධාර යටතේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන්ට අමතරව නව සහයෝගීතා ක්ෂේත්‍ර කිහිපයක් හඳුනා ගනී. පුනර්ජනනීය බලශක්තිය, කසළ බැහැර කිරීම, දියබස්නා කළමනාකරණය, අපනයනය ඉලක්ක කරගත් වැවිලි වගා, මාර්ග තදබදය ලිහිල් කිරීම සහ පදික සහ මහාමාර්ග ආරක්ෂාව ඒ අතර වෙයි.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති Hartwig Schafer මහතා අද (31) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී මෙම එකඟතාව පළ විය. මේ ක්ෂේත්රවල ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සඳහා සහනදායී පදනම මත මූල්‍යාධාර ලබාදිය හැකි බව උප සභාපතිවරයා සඳහන් කළේය.
තමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී නිම කළ මාර්ග සංවර්ධනය සහ නගර අලංකරණය වැනි ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සමග සබඳතාව සිහිපත් කළ ජනාධිපතිවරයා ලෝක බැංකු නව සහයෝගීතාව සුහදශීලීව පිළිගත්තේය.
වැවිලි කර්මාන්ත සංවර්ධනය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා ගම්මිරිස් සහ කුරුඳු වැනි සුළු අපනයන බෝග කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. මීට ප්‍රතිචාර දක්වමින් “රැකියා සහ අපනයන ආදායම් උත්පාදනයේ දී මේ බෝග සදහා විශාල ඉඩ ප්‍රස්ථාවක් පවතින බව” ලෝක බැංකු උප සභාපතිවරයා කියා සිටියේය.
“දැනට ලෝක බැංකු ආධාර යටතේ මෙරට ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් ඒවා සාර්ථකව ඉදිරියට යනවා. ඇතැම් ඒවා එසේ නැහැ. මාර්ග තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මහනුවර බහු ආකෘති පර්යන්ත ව්‍යාපෘතියට බැංකුව ඉදිරියටත් ආධාර දෙනවා”. යැයි උප සභාපතිවරයා කීය.
යෝජිත කටයුතුවලදී නවීන තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කම ඉස්මතු කළ ජනාධිපති රාජපක්ෂ මහතා විශේෂිත වූ ව්‍යාපෘති තීරණය කිරීමට වැඩිදුර සාකච්ඡා කිරීමට එකඟතාව පළ කළේය.