ලොව පුරා විවිධ කොවිඩ්-19 එන්නත් අත්හදා බැලීමේ සහ අනුමත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බැවින්, ඒවා ලබාගත හැකි යැයි අපේක්ෂා කලාපයන් හා කාලයන් පිළිබඳ දළ අදහසක් විදෙස් වාර්තා ඉදිරිපත් කරයි.
උතුරු ඇමෙරිකාව
බයෝටෙක්/ෆයිසර් එන්නත මෙන්ම, මොඩෙර්නා එන්නත මේ වනවිටත් එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයට (FDA) ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බැවින්, දෙසැම්බර් 17 වනවිට ෆයිසර් එන්නතත්, දෙසැම්බර් 22 වනවිට මොඩෙර්නා එන්නත් ලබාගත හැකි බව විශ්වාස කෙරෙයි. ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් සඳුදා පැවසුවේ නත්තල් සමයේදී මිනිසුන්ට එන්නත් ලබාගැනීම ආරම්භ කළ හැකි බවයි. ෆයිසර් කැනඩාවේද විමර්ශන සඳහා ලබාදී තිබේ.
යුරෝපය
ෆයිසර් සහ මෝඩර්නා විසින් ඔවුන්ගේ කොවිඩ්-19 එන්නත අයදුම්පත් ඊයේ දිනය වනවිට යුරෝපීය ඖෂධ ඒජන්සිය වෙත ඉදිරිපත් කරන ලද අතර, මේ නිසා වසර අවසානයට පෙර ඒවා යුරෝපය තුළ භාවිත කළ හැකි වනු ඇතැයි අපේක්ෂිතය ෆයිසර් සිය දත්ත එක්සත් රාජධානියේ ඖෂධ හා සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සියට වාර්තා කර ඇත. එක්සත් රාජධානියේ රජය විසින් ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එන්නත් අපේක්ෂකයා තක්සේරු කිරීම සඳහා ජාතික ඖෂධ නියාමකයා වෙත සිකුරාදා යොමුකර තිබුණත්, එහි සායනික පරීක්ෂාවන්ගේ සිදුවූ තාක්ෂණික ගැටලුවක් නිසා එය ප්‍රමාද විය හැකි බව කියයි.
දකුණු ඇමෙරිකාව
කොවිඩ්-19 එන්නත් කිහිපයක් බ්‍රසීලයේ සායනික අත්හදා බැලීම්වලට භාජනය වෙමින් පවතින අතර, එය ලොව පුරා දෙවැනි වැඩිම වෛරස් මරණ සංඛ්‍යාව සහ දෙවැනි වැඩිම ආසාදිතයන් වාර්තා වන රටයි. කෙසේ වෙතත් ඔක්ස්ෆර්ඩ් /ඇස්ට්‍රාසෙනෙකා එන්නත එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මහජන සෞඛ්‍ය ෆෙඩරල් පර්යේෂණ ආයතනයක් වන ෆියෝක්‍රස් හි සහාය ඇතිව සිදුකරමින් පවතී. අමාත්‍යාංශයේ විධායක ලේකම් එල්සියෝ ෆ්රැන්කෝ පැවසුවේ ජනවාරි මාසය වනවිට එම එන්නත මහජනතාවට ලබාගත හැකි බවය. එමෙන්ම, වෙනිසියුලාව රුසියාවේ ස්පුට්නික් වී එන්නත් අපේක්ෂකයාගේ තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම්වලට සහභාගී වන අතර පේරු සහ ආර්ජන්ටිනාව චීනයේ ඖෂධ නිෂ්පාදන දැවැන්තයා වන සීනෝෆාම් එන්නත් අපේක්ෂකයාගේ තුන්වැනි අදියර අත්හදා බැලීම් සඳහා සහභාගී වේ.
ආසියා-පැසිෆික්
ෆයිසර්/බයෝඑටෙක් විසින් ඔස්ට්‍රේලියාව සහ ජපානය වෙත සිය එන්නත් විමර්ශනය සඳහා ලබාදී ඇත. බීජිං විසින් බලය පවරන ලද හදිසි භාවිත වැඩසටහනක කොටසක් ලෙස මිලියනයකට ආසන්න පිරිසකට සීනෝෆාම් විසින් නිපදවන ලද පරීක්ෂණාත්මක එන්නතක් මේ වනවිටත් ලබාදී ඇති බව එම සමාගමේ සභාපති පවසයි. මහජන විමුක්ති හමුදාවට සිය පර්යේෂණාත්මක එන්නත ලබාදීම සඳහා විශේෂ අවසරයක් ලබාදී ඇති බව චීන සමාගමක් වන කැන්සිනෝ බයෝලොජික්ස් ජුනි මාසයේදී නිවේදනය කළේය. 2021 පළමු හා දෙවැනි කාර්තුවේදී ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා එන්නත මිලියන සිය ගණනක් බෙදාහැරීමට ඉන්දියාව සූදානම් වන බව ඖෂධ නිෂ්පාදක සේරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනාවල් සෙනසුරාදා පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. SII ඉදිරි සති දෙක තුළ ඉන්දියාවේ ඖෂධ අධිකාරියේ හදිසි භාවිත බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරනු ඇත.
මැද පෙරදිග
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, ජෝර්දානය සහ ඊජිප්තුව ඇතුළු රටවල් 10ක 3 වැනි අදියර අත්හදා බැලීම් සීනෝෆාම් විසින් සිදුකර ඇත. රුසියාවේ ස්පුට්නික් වී එන්නත සඳහා තුන්වැනි අදියර අත්හදා බැලීම්ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුවෙමින් පවතී. ජෛව පර්යේෂණ සඳහා ඊශ්‍රායල ආයතනයේ සංවර්ධනය කරන ලද එන්නත් අපේක්ෂක බ්රයිලයිෆ් සඳහා ඊශ්‍රායලය මේ මස මුලදී සායනික අත්හදා බැලීම් ආරම්භ කළේය. තෙවැනි අදියර අප්‍රේල් හෝ මැයි මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කර ඇත.
අප්‍රිකාව
කොවිඩ්-19 ට එරෙහිව එන්නත් කිරීම ලබන වසරේ මැද භාගය වන තෙක් අප්‍රිකාවේ ආරම්භ නොවන බව මහාද්වීපයේ රෝග පාලනය පිළිබඳ මධ්‍යස්ථාන ප්‍රධානී ජෝන් නෙන්ගොන්සොං බ්‍රහස්පතින්දා පැවසීය. ෆයිසර් සහ මොඩෙර්නා හි මුල් කාලීන එන්නත් සැපයීම එක්සත් ජනපදය සහ යුරෝපය ආශ්‍රිතව බැඳී පවතී. තුන්වැනි අදියර අත්හදා බැලීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කළ එකම සමාගම ඇස්ට්‍රාසෙනෙකා වන අතර, අඩු හා මධ්‍යම හා ආදායම් ලබන බොහෝ රටවල මෙම එන්නත මාත්‍රා ලබාදෙන බවට මෙතෙක් පොරොන්දු වී තිබේ. එය ලාභ නොලබන පදනමක් මත එසේ කරනු ඇත. වර්තමාන ආකෘති නිර්මාණය අනුව සියලුම රටවලට එන්නත් ලබාගැනීම සඳහා 2023 සැප්තැම්බර් දක්වා ගත විය හැකිය.
නව කොරෝනා වෛරසය සඳහා වූ එන්නතක් ක්ෂිතිජයේ පැවතුණත්, වෛද්‍ය ෆවුසි ජනතාවට තම සෞඛ්යාරක්ෂක පියවර අඩු නොකරන ලෙස අවධාරණය කළේ මෙම කාලවකවානු පිළිබඳ අවබෝධයෙනි. ඒ නිසා මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පහකට අනුගත වීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය, ඒ මුඛ ආවරණයක් පැලඳීම, සමාජ දුරස්ථභාවය පැවැත්වීම, සමූහයා මග හැරීම, ගෘහස්ථව වෙනුවට එළිමහනේ ක්‍රියාකාරකම් කිරීම සහ නිතර දෑත් සේදීම යි.