ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 240,000ක සීමාවට පැමිණ ඇති අතර, මේ වනවිට එරට ප්‍රාන්ත රැසක ආසාදන ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටියක සීමාව පසුකර ගොස්, මේ වනවිට 10,029,556ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.
ඒ අනුව ලෝකයේ කොවිඩ්-19 ආසාදිතයන් කෝටියක සිමාව ඉක්මවා ගිය ප්‍රථම රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව ඇති අතර, ඊට පසුපසින් සිටින ඉන්දියාවෙන් ආසාදිතයන් 8,553,657ක්, බ්‍රසීලයෙන් ආසාදිතයන් 5,664,115ක් ආදී වශයෙන් වාර්තා වෙයි.
මීට මාසයකට පමණ පෙර ඉන්දියාවේ ආසාදන වේගවත් වෙමින් ඇමෙරිකා එක්සත් ජනපදයද පසුකර යන ස්වභාවයක් පෙන්නුම් කළත් මේ වනවිට ඉන්දියාවේ සමස්ත ආසාදන අඩුකර ගැනීමට ඉන්දියාව සමත්ව ඇති අතර, ඊට පෙර වේගවත් ආසාදන වේගයක් වාර්තා කළ බ්‍රසීලයද තම ආසාදන අඩුකර ගෙන තිබේ.
නමුත් ඇමෙරිකාව පසුගිය කාලසීමාව පුරා මැතිවරණයක් පසුපස ලුහුබැඳ ගියා මිස එරට වසංගතය සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය නොදීමේ ඵලවිපාක ඔවුන් මේ වනවිට භුක්ති විඳිමින් සිටින අතර, එරට ආසාදන ඉදිරියේදී දෙගුණ විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
මේ වනවිට ඇමෙරිකාවේ වසංතය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 238,024ක් ලෙස වාර්තා වන අතර, සෑම දිනකම 1,000 ඉක්මවූ මරණ වාර්තා වෙයි. මේ ආකාරයෙන් දෛනිකව මරණ දහස ඉක්මවා වාර්තා වන එකම රට බවටද ඇමෙරිකාව පත්ව තිබේ.
ඇමෙරිකාවේ අලුතින් තේරීපත්වූ ජනපති ජෝ බයිඩන් නව කොරෝනා කාර්ය සාධක බලකායක් නම්කර ඇති අතර, තවමත් බලයේ සිටින ජනාධිපති ට්‍රම්ප්ගේ කාර්ය සාධක බලකායද තවමත් ක්‍රියාත්මකය. එහිදී ට්‍රම්ප් බලය අත්හැරීමට පසුබට වීමත්, එරට දේශපාලන ව්යවුල් තත්ත්වය උග්‍ර වීමත් නිසා වසංගතයේ දරුණු බව තවත් ඉහළ යා හැකි බවටද අනාවැකි පළවෙයි.