“අපේ රටේ කාන්තාවන්, දරුවන්ට අමාරුවෙන් කන්න දීලා තමන් බඩගින්නේ ඉන්නවා. බහෙත් මිල වැඩි වෙලා නිසා බෙහෙත් ගන්නේ නෑ. දැන් මේ රටේ බහුතරයක් ගැහැනු හරිහැටි කෑමක් නැතිව, හරි හැටි බෙහෙතක් නැතිව තමන්ගේ ජීවිතය මැරෙන්න දීලා බලාගෙන ඉන්නවා. මේ තත්වය වෙනස් කළ යුතුයි. ඒක වෙනස් කරන්න කාන්තාවන් ම පෙරමුණ ගන්න ඕනෑ.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේය.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල නගරයේ දී ඊයේ (07) සවස පැවැත්වූ ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුවේ දී ය. “ගැහැනු අපි එක මිටට, මාලිමාවට” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි.
එහි දී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය.
“දරුවන්ට උගන්වන්න මේ ලෝකයේ වැඩියෙන් ම මහන්සිවෙන දෙමාපියන් ඉන්නේ ලංකාවේ. ජනවාරි මාසයේ දී තමයි මේ රටේ වැඩිම සිසේරියන් සැත්කම් ප්‍රමාණයක් සිදුකරන්නේ. ස්වභාවිකව උපත ලබන්න ඉන්න දරුවාට සිසේරියන් සැත්කමකින් උපත ලබා දෙනවා. පෙබරවාරි මාසයේ උපදින්න ඉන්න දරුවට ජනවාරි මාසයේ උපත දුන්නොත් දරුවගේ අධ්‍යාපනය වසරකට කලින් සම්පූර්ණ කරන්න පුළුවන්.
මෙහෙව් අම්මලා ලෝකේ කොහේ ද ඉන්නේ. ඒත් අද ප්‍රතිඵලය මොකක්ද ? අම්මලාගේ අපේක්ෂාවන් මොනතරම් තිබුණත් පොතට, පැන්සලට බදු ගහනවා. මේක පාලකයන්ගේ කරුමයක් නොවේ ද ? අද අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් 58% ක් පොත්පත් ඇතුළු අධ්‍යාපන උපකරණ මිල දී ගන්නේ නෑ. නැතිනම් මිල දී ගැනීම අඩු කරලා. මේ විනාශ වෙන්නේ දරුවන්ගේ අනාගතය.
දැන් බෙහෙත්, වෛද්‍ය උපකරණ සහ බෙහෙත් නිෂ්පාදන අමුද්‍රව්‍ය පවා බදු නිසා මිල ඉහළ ගිහින්, වෛද්‍යවරයෙක් දින 10කට බෙහෙත් දුන්නම බෙහෙත් ගන්නේ දින 02කට. ජනතාව තමන්ගේ ජීවිත මැරෙන්න අතහැරලා. මේක ඉරණම කියල හූල්ල හූල්ල ඉදලා වැඩක් නෑ.
රටේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට කාන්තාවගේ සහය තිබුණා. ග්‍රාමීය කාන්තාව අර්ථික පීඩනය හේතුකරගෙන සාරි, වැසිකිළි පෝච්චි, තහඩු බෙදීම්වල ගොදුරු බවට පත්වුණා. රැවටුණා. රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්න දරුවන්ට දේශපාලකයන්ගේ කැන්වසින් යන්න කියලා බලකළා. දරුවන්ට රස්සාවල් නැත්නම් අම්මලා රස්සාවක් හොයාගන්න දේශපාලකයන් ගාවට ගියා. ඒ නිසා අපේ රටේ ගැහැනුන් දේශපාලනයට කැඳවාගෙන ආවේ ඇයගේ අසරණකම, දුප්පත් කම දඩමීමා කරගෙන.
ඒ ඉතිහාසය, වරදාන වරප්‍රසාද දීමානවලට ගැහැනු රවට්ටපු යුගය අවසන් කියලා පෙන්වන්න තමයි අද ගාල්ලට දහස් සංඛ්‍යාත ගැහැනු එකතුවෙලා ඉන්නේ.
රටේ පොදු ආර්ථික අර්බුදයක දී වගේම අපරාධ සිදුවනවිට විටදීත් ගැහැනිය වැඩියෙන් පීඩාවට පත්වෙනවා. දූ දරුවන්ගේ අධ්‍යාපනය, රැකියාව සමාජය පොදුවේ පීඩාවට පත්වනවිට ගෙදර ඉන්න අම්මා වැඩියෙන් පීඩාවට පත්වෙනවා. මේ ව්‍යසනයේ අවාසනාවන්ත ඉරණමට වැඩියෙන්ම ගොදුරුවන්නේ රටේ ගැහැනු. ඒ නිසා කාටත් වඩා වැඩියෙන් ගැහැනු වෙනස්වෙන්න ඕනේ.
ලංකාවේ ගෘහස්ත හිංසනය 19%ක්. අපේ රටේ කාන්තාවට ගෙදර ජීවිතයත් නෑ. එළියේ ජීවතයත් නෑ. ජීවිතය මොකක්ද කියලා දන්නේ නැතිව ඔහේ කඹුරනවා. අඩුම ගණනේ පවුලක් කෑම මේසයට එකතුවෙලා කෑම කනවද? හොඳ අධ්‍යාපනයක්, නිරෝගී ජීවිතයක්, මානසික සුවයක් අවශ්‍ය නැද්ද?
මීට ඉස්සෙලා අපිට කිව්වේ ගණන් ගන්න එපා, 3%යි නේ කලබල වෙන්න එපා කවදාවත් ආණ්ඩුවක් හදන්න බෑ. කතා කරපුවාවේ, කතා කර කර හිටපුවාවේ කියලා. දැන් මොකද වුණේ, ඕනම වේදිකාව කතා කරන්නේ ජාතික ජනබලවේගය ගැන. ඉස්සෙල්ලා අපිට ආණ්ඩුවක් ගන්න බෑ කියපු අය දැන් කියනවා ආණ්ඩුවක් කරන්න බෑ කියලා. ඒක තීරණය කරන්නේ එයාල ද ? ඒක තීරණය කරන්නේ මේ රටේ ජනතාව.”
සිරංගිකා ලොකුකරවිට


