නීත්‍යානූකූල දඬුවමෙන් වළකාලීම සඳහා කසිප්පු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කහවත්ත පොලිසියේ හිටපු පොලිස් සැරයන්වරයකුට වසර 16ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළේය.
විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 15,000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ දඩ සහ දණ්ඩන මුදල් නොගෙවුවහොත් අමතර වසර 05ක සිරදඬුවමකටද ඔහු යටත් කළේය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් නීතිඥ අනුරාධා සිරිවර්ධන මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුට අදාළ දඬුවම නියම කළේය.
චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කහවත්ත පොලිසියේ පොලිස් සැරයන්වරයකු වශයෙන් සේවය කළ ආර්.එම්. ජයසේන නමැත්තාටය.
2009 පෙබරවාරී මස 04 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කහවත්තේදී විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කහවත්ත පොලීසියේ පොලිස් සැරයන්වරයකු වශයෙන් සේවයේ යොදවා සිටි විත්තිකරු නීත්‍යානූකූල දඬුවමෙන් වළකාලීම සඳහා කසිප්පු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම සියලුම චෝදනාවන්ට ඔහු වරදකරු කළේය.
එහිදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කොට ඇති අතර එම දඬුවම වසර 04ක කාලයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.
