ත්‍රීරෝද රථ අමතර කොටස් ආනයනය සම්පූර්ණයෙන්ම නවත් වන්නේනම් ලක්ෂ දහසයක් වූ මෙරට ත්‍රීරෝද රථ වලට අවශ්‍ය සියළුම අමතර කොටස් තම ආයතනය හරහා සැපයීමට හැකි බව පොල්ගස්ඕවිට මිල්ටන් මෝටර්ස් අධිපති එච්.බී. මිල්ටන් මහතා පවසයි .
ඒ හරහා මාසිකව රුපියල් පනස් දහසකට අධික වැටුපක් සහිතව දක්ෂ කාර්මිකයින් තුන්සිය දෙනෙකුට රැකියා අවස්ථා ලබා දිමට ද හැකි බව ඒ මහතා වැඩිදුරටත් කීය.
හෙතෙම මේ බව කියා සිටියේ කිලෝ ග්‍රෑම් 800 බරක් දරා විදුලි බලයෙන් ධාවනය වන නව මාදිලියේ ත්‍රිරෝද රථයක් හඳුන්වාදීම පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමිනි.
කිලෝ මීටර් දෙසීයක් ධාවනය කළ හැකි මෙම ත්‍රිරෝද රථය මෙරට වටිනාකම රුපියල් ලක්ෂ දහ නවයකි. එහිදී තවදුරටත් අදහස් පළකළ මිල්ටන් මෝටර්ස් අධිපති එච්.බී.මිල්ටන් මහතා මෙසේද කීය.
"බජාජ් ත්‍රීරෝද රථ වල අමතර කොටස් හා විදුලි ත්‍රීරෝද රථ නිෂ්පාදනය කිරීම තමයි අපි කරන්නෙ. එලෙසින් නිපදවූ ත්‍රීරෝද රථ කෙන්යාව , උගන්ඩාව , කොරියාව සහ ටැන්සානියාව ඇතුළු රටවල් රැසකට යවා තියෙනවා. තවදුරටත් අප්‍රිකානු සහ බටහිර රටවලිනුත් ඇණවුම් ලැබී තියෙනවා. එලෙස වැඩ නිම කළ ත්‍රීරෝද රථ සියයක් පමණ යවා ගන්න බැරුව හිරවෙලා.හේතුව ඊට සවි කරන බැටරි තොගයක් මෙරටට ගෙන්වා ගැනීමට මුදල් නොමැති කමින්.
ඒ සදහා කෝටි හතකට ආසන්න මුදලක් වැය වෙනව. ඒ මුදල ණයක් ලෙස ලබාගන්න අවුරුදු දෙකක සිට උත්සාහ කරනවා නමුත් එය ලබා ගන්න බැරි උනා. මේ නිසා අපනයන කිරීම සඳහා වැඩ නිම කළ ත්‍රීරෝද රථ සියය ගබඩා කරල තියෙනවා.
මේ වෙනකොට අපි කිලෝ මීටර් 100 ධාවනය කළ හැකි තිදෙනෙක් ගමන් කරන ත්‍රීරෝද රථයක් හැදුවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 16 ක්. හත් දෙනකුට ගමන් කළ හැකි තවත් ත්‍රීරෝද රථයක් නිෂ්පාදනය කළා. එහි වටිනාකම ලක්ෂ 22 ක්. ඊට අමතරව අලුතෙන්ම නිෂ්පාදනය කරපු කාර්ගෝ මාදිලියේ ත්‍රීරෝද රථයක් හැදුවා. එහි වටිනාකම ලක්ෂ දහ නවයක්. එහි කිලෝ ග්‍රෑම් 800 ප්‍රවාහනය කළ හැකියි. එය කිලෝමීටර් දෙසීයක් එක වර ධාවනය කළ හැකියි. මේවායේ වගකීම් කාලය අවුරුදු පහක්. මේ සඳහා භාවිතා කෙරෙන්නේ සින් කෝඩ් තහඩුව. ඒ තහඩුවෙන් හදපු චැසිය අපි දෙනව රුපියල් 70,000 , පිටරටින් ගේන එක මේ වෙනකොට 180,000 යි.
මේ වාහන වල පිටුපස රෝදයට රේසර් හතරක් ගහනවා . ඒකෙන් අවුරුදු තුනක් දුවන්න පුළුවන්. මේ වාහන වල සර්විස් නෑ, කේබල් නෑ, එන්ජින් රෙපයාර් නෑ , පින් ගැසීම් නෑ. තුන්දෙනෙක් ගමන් කරන ත්‍රීරෝද රථයකට වැයවෙන්නේ කිලෝමීටරයට 01 ශත 75 යි.කාර්ගෝ රථයට වැයවෙන්නේ රුපියල් 02 යි.
ඊට අමතරව පාපැදි , යතුරුපැදි මේ වනවිට නිපදවා තියෙනවා . ඉදිරියේදී මෝටර් රථ විදුලියෙන් ධාවනය කරන්නත් හදන්නේ. ඉවතලන ප්ලාස්ටික් ප්රතිචක්රීයකරණය කරල මෙතෙක් භාවිතා කළ ත්‍රිරෝද රථයේ අමතර කොටස් රැසක් ප්ලාස්ටික් වලින් නිපදවා තියෙනවා. ඒවා රුපියල් 300 සිට ලබා ගන්න පුලුවන්.
මේ විදිහට අපි නව නිර්මාණ කළත් මේ ගමන යන්න අපට බාධා රැසක් තියෙනවා. බැටරි ටික ගේන්න කෝටි 07 ණයක් ඉල්ලුවා අවුරුදු 2 ඉදල මේ දක්වා ඒක ලැබිල නෑ.ඒ නිසා අපිට අඩු පොලියට ණයක් අරන් ව්‍යාපාරය දියුණු කරගන්න බැරිවෙලා. සත පහක වැඩක් නොකළ මිනිස්සුන්ට කෝටි ගණන් දීලා බොල් ණය කියලා කපා හරින කාලෙක වැඩක් කරන අපි වගේ මිනිස්සුන්ට අත දෙන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා."
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න